Sunday, August 13, 2017

නවතින්නම එන ඇත්තෝ

ගෙදරට වෙලා ඉන්නවා වෙනුවට ඉස්පිරිතාලෙ ඇවිත් ඉන්න කිව්වොත් කැමැතිද? ඒසී කාමර,ඉන් රූම් ඩයිනින් තියෙන් ප්‍රයිවට් හොස්පිට්ල් එකක නෙවෙයි.මේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ.

හුඟක් වෙලාවට ඉස්පිරිතාලෙ නැවතිලා බෙහෙත් කරන්න වෙනවා කිව්වම ලෙඩ්ඩුන්ගේ මූනු කලු වෙලා යනවා.සනීප නැතුව ඉන්නවා මදිවට නුපුරුදු පරිසරයක,බෙහෙත් ගඳ ,අනිත් ලෙඩ්ඩුන්ගෙ දුක් කෙඳිරිලි අස්සේ,මේ දවස්වල ඒ මදිවට ඩෙංගු නිසා වාට්ටු හරියට ප්‍රයිවට් බස් වගේ නිසා වැටිලා ඉන්න ඇඳක් කෙසේ වෙතත් පැදුරක් හොයාගන්නත් අමාරුයි.ඉතින් කවුද කැමති වෙන්නේ ඉස්පිරිතාලෙ ඉන්න?

එහෙම හිතුවට බොහොම කැමැත්තෙන් ඇවිත් බලෙන්ම වගේ ඉස්පිරිතාලෙ පැලපදියම් වෙන ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් හැම ඉස්පිරිතාලෙම ඉන්නවා.

මේ සීයාට අපි විජයවර්දන සීයා කියමුකො.ඉස්සිස්සෙල්ලාම දකින කෙනෙක්ට හිතෙන්නෙ හරීම අහිංසක අසරණ සීයා කෙනෙක් කියලා තමයි.වයස අවුරුදු අනූවක් විතර ඇති.කොට්ටෙකුයි ගමන් මලු දෙක තුනකුයි එක්ක අමාරුවෙන් එන සීයා දැක්කම කාට උනත් දුක හිතෙනවා.කොට්ට පැදුරු ඇඩ්මිශන් එක ළඟ එලියෙන් අඩුක් කරලා දොර ගාවට ඇව්ත් දොර අල්ලා ගත්ත ගමන්ම සීයාට දරුණු පපුවේ කැක්කුමක රෝග ළක්ශන පහළ වෙනවා.මේ දැන් පණ යයි කියලා හිතෙනවා.ඒත් ඇඩ්මිශන් එක ලියපු ගමන් ඉබේම පපුවෙ අමාරුව සනීප වෙනවා.වාට්ටුවෙ කට්ටිය කියන විදිහට වාට්ටුවට යන්නෙ වෙනමම සීයා කෙනෙක් .බොහොම සැර පරුශ ඒ සීයා වාට්ටුවේ හැමෝත් එක්කම ගෝරි දාගන්න බවයි ආරංචිය.දවසකින් දෙකකින් ටිකට් කැපුවාම අර බඩු පොදියත් කර ගහගෙන ආයෙමත් තව ඉස්පිරිතාලෙකට යන එක තමයි සීයා කරන්නෙ.ඇඩ්මිට් කරන්න කලින් ඕපීඩී එකට පෙන්නලා ඊසීජී පටියක් අරන් එන්න කියලා තරවටු කරපු දවසක අපේ පුටුවත් පෙරලාගෙන සීයා ආපහු යන්න ගියේ පපුවෙ කැක්කුම ඉබේ හොඳ වෙලා. ඒත් ඉතින් රෑවෙලා ආවම මේ නාකි මනුස්සයා හරවලා යවන්නයැ.කවදාහරි දවසක සීයාටත් වෙන්නෙ අර කොටියා ආවෝ කියපු ළමයාට වෙච්චි වැඩේ කියලා කිය කිය අපි ඇඩ්මිට් කරනවා.සීයා ඒවා නෑහුන ගානට ඉන්නවා.

ඊළඟ දෙමළ ගෑනු පරානයක්.අපි ලෙච්චමී කියමු.එයා එන්නෙ කොහේ හරි ගිහින් ගෙදර යන්න පරක්කු වෙච්ච් දවසට.හොරෙන් ඇවිත් බලලා උන්දෑ ගැන දුක හිතිලා නවත්තන දොස්තර කෙනෙක් හිටියොත් විතරක් ඇඩ්මිශන් එකට එන්නේ අර ලෙඩේම කියාගෙන.හැබැයි සීයාට තරම රඟපාන කලාව පිහිටලා නැති හින්දා බොරු කරන විත්තිය පේනවා.ඉස්සරනම් පවු කියලා නැවැත්තුවත් වාට්ටුවෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති මේ දවස්වල ඊසීජී බලන්න ඕනෙ බව මම තදින් ම කියනවා.අපි ඔක්කෝම මරන බවට පොරොන්දු දිදී ලෙච්චමී යන්න යනවා.

ඔය අපේ ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩුන්ගේ නියැදියක් විතරයි.හුඟක් ඉස්පිරිතාලවලට මේ වගේ ලෙඩ්ඩු බරක් වෙනවා.සමහර ලෙඩ්ඩු එක ඉස්පිරිතාලෙකින් තව එකකට මාරු වෙවී ඉස්පිරිතාලවලම ජීවත් වෙනවා.සමහරු ලෙඩ්ඩුන්ට නොමිලේ දෙන කෑම එක කන්න බලාගෙන එනවා.සමහර වයසක උදවිය බලාගන්න කාත් කවුරුත් නැති නිසා එනවා.තම කැමැත්තෙන් එන මිනිස්සු වගේම ගෙදරින් ගෙනත් දාලා ගිහින් ආයෙත් බලන්න පැත්තපලාතෙ නොඑන නිසා ටිකට් කපලා යවන්න බැරුව තියාගෙන ඉන්න ලෙඩ්ඩුත් ඉන්නවා.

ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද කරන්න පුලුවන්.වැඩිහිටි නිවාසවලට මේ ගොඩ දෙනෙක් බාර ගන්නෙ නැහැ.බාරගත්තත් සමහරු මේ ජීවිතේ වෙනස් කරන්න කැමතිත් නැහැ.මතුපිටට නොපෙනෙන්න තියෙන ඒ මිනිස්සුන්ගේප්‍රශ්න විසඳෙන තුරු මෙහෙම ලෙඩ්ඩු එන එක නවතින්නෙත් නැහැ.ඒත් අපි වගේ පහසුකම් අඩු ලෙඩ්ඩු වැඩි ඉස්පිරිතාල තියෙන රටක මේ ලෙඩ්ඩුන්ට වෙන්වෙන්නෙ ඇත්තටම ලෙඩක් තියෙන මනුස්සයෙක් වෙනුවෙන් වෙන් විය යුතු කාලය,ශ්‍රමය හා පහසු කම්.
ඒත් ඉතින් රටේ වෙන නාස්තිවල හැටියට ඕක ලූනු බිකක් තරම් කියලා හිත හදා ගන්නත් බැරි නෑ ඉතින්

Friday, August 11, 2017

කෝකටත් විසඳුම ඕකලු මේ කාලෙ

කරුණානායක උන්නෑ හේ ඉළන්දාරි කාලේ ඉඳලාම කුකුළාය.
උන්දෑ ගෙදර පැත්තේ එනවා දැක්කොත් තාත්තා අක්කලා දෙන්නාත් අම්මාත් පමණක් නොව වළ පයයි ගොඩ පයයි ඉන්නා අත්තම්මා ද දුමට නග්ගලාය උන්දෑ පිළිගන්න යන්නේ.

කරුණානායක උන්නැහේ වැඩ කලේ මුදල් අමාත්‍යංශයේ ය.සතියේ හැමදාමත් ජැන්ඩි පහට ඇඳගෙන මායියා ඔතා දෙන බත් ගෙඩියක් ඔතාගෙන ගජ මිතුරා වන සේනාරත්න උන්නැහේ එක්ක රේල්ලුවට පිටත් වෙන්නේ වැඩට පිටත් වෙන්ටය.ආයෙත් උන්දැලා ගෙදර එන්නේ බිං කරුවල වැටෙද්දීය.

කරුණානායක උන්නැහේ මනමාල කුරුල්ලා බව ගමේ කොයි කවුරුත් පාහේ දන්නා නිසා ගමේ බවලතෙක්ට කිට්ටු කරන්නට උන්දෑට පුලුවන් කමක් තිබුනේ නැත. ඒත් නොයෙක් රාජකාරිවලට ටවුමට ගිය වෙලාවට කරුණානායක උන්නැහේ විවිධාකාර වූ ලලනාවන් එක්ක එහේ මෙහේ යනවා දුටු පිරිස නම් බොහෝම ය.ඒත් ඒ ගැන කවුරුත් කරුණානායක මායියාගේ කනේ තියන්නට වුණේ නැත්තේ ගෙදර සුමේ කර කර නහිනවා මදිවාට මේ ගින්දර දී ඒ මනුස්සයාට ප්‍රෙශර් හදවන්නට හොඳ නැතැයි හිතුනු නිසා වෙන්ට ඕනෑය.

සෙනසුරාදා උදැහැනැක්කේම පික් මී එකක් ඇවිදින් කරුණායක උන්නැහේගේ ගේ ඉස්සරහා නවත්තා එළියට බැහැ ගත්තේ තඩි බඩගෙඩියක් උස්සාගත් බවලතෙකි.
"කරුණානායක ඉන්නෙ මෙහෙද?"
"ඔව්, ඇයි මොකද්ද උවමනාව?"මිදුල අමදිමින් හිටි කරුණානායක මායියා විචාලා ය.

"මේ කරුණානායකගෙ අක්කා ද?"
"අක්කා? මම එයාගේ නෝනා.මොකද්ද උවමනාව කිව්වුනම්"
කරුණානායක මායියා ඇසුවේ එන පොට හොඳ නැති වග දැනෙන්නට ගද්දී ය.

"නෝනා ?ඔහේ කොහොමද නෝනා වෙන්නෙ .මම නෙ එයාගෙ නෝනා.මේ බඩේ ඉන්නෙ එයාගෙ ළමයා."පික් මීයෙන් ආ බවලතා බෙරිහන් දෙන්ට ගත්තාය.

"මොකද්ද නෝනේ සද්දේ "කියාගෙන එළියට ආ කරුණානායක ගොයියා වෙන්න යන සන්තෑසිය දැක ආයෙත් ගේ ඇතුලට දුවන්න හැරුනේය.

"ඔහොම හිටියනම්.මොකද්ද මේ ගෑනියෙක් ඇවිදින් ඔහේගේ නෝනා ය කියන්නෙ.මෙහාට ආවනම් ඔහොම්මම"මායියාගේ ගෝරණාඩුව ඔස්සේ කරුණානායක ගොයියා තෙමුණු කුකුලෙක් ලෙසට ගේට්ටුව දිහාට ඇදුනේ ය.

"මොකද්ද මිනිහෝ මේකේ තේරුම.තමුසෙ මට කිව්වෙ තමුසෙට ඉන්නෙ අක්කා කෙනෙක් කියලනේ.තමුසෙ බොරු කියලද මාව කසාද බැන්දෙ?" අලුත් බවලතාද මායියාට නොදෙවෙනි වෙන්නට ගෝරණාඩු කරනවා ය.

"කසාද බැන්දා ? මම ඔහෙව? මට මතක නෑනෙ" කරුණානායක මහතා ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.

"ඈහ්.මතක නෑ යකෝ.මේක මාර කතාවක් නේ.එතකොට මේ බඩේ ඉන්න එකා?"

"මම දන්නෙ නෑ."
"හුහ් එව්වා කොහෙද මාත් එක්ක.විමලා කමලා,ඔය පෙට්ටගම අරගෙන බහින්න"
අලුත් බවලතා ගේ හඬට පික්මීයෙන් බැස්සේ කරුණානායක මහතාගේ කපාපු පලුව වාගේ දැරිවියන් දෙපළකි.
පෙට්ටගම පෙරළා කසාද සහතිකේකුත් දැරිවියන්ගේ උප්පැන්න සහතිකත් ඇද ගත් අලුත් බවලතා ඇසුවේ එතකොට මෙව්වා නිකුත් කරපු ඇත්තන්ට ඔහෙට වගේ අවසිහිය දැයි කියාය.

අද දෙකෙන් එකක් බේරාගන්නට ආ බවත් ළමයා ලැබෙන තුරු  මෙහේ නවතින බවත් කියමින් උන්දෑ පික් මීයේ පැක් කර තිබූ බඩු බාහිරාදිය එළියට අදින්නට ගත්තා ය.
කරුණානායක මායියා ඉදල උරුක්කරගත්තේ මෙතුවක් කල් අතට අහු නොවී පැන්න කොටු ඔක්කොටම හරියන්න ගෙදර උන්දෑට සංග්‍රහ කරන්නය.

"හෝවි හෝව් පොඩ්ඩක් ඉන්න දෙන්නම.ඕකට කලබල වෙන්න දෙයක් නෑ.දෙන්නාටම උත්තරේ දෙන්නම් මම"කරුණානායක ගෙට පැනගත්තේ ය.
විනාඩි දෙක තුනක් ගත් විය.ටියුලිප් බෑගයක ඔතා ගත් යමක් කිහිල්ලේ ගසා ගෙන අඩියට දෙකට ගෙයින් එළියට බැස්ස කරුණානායක පිළිතුරු බලාපොරොත්තුවෙන් උන් බවලතුන් මැද්දෙන් අඩියට දෙකට ඇදුනේ ය.

"අපේ නෝනා ඔහේ මගේ කසාද නෝනා .ඒක ඇත්ත"
"එතකොට මේ වයලට්.උන්දැවත් මම බැන්දා .ඔය ළමයි රොත්තත් ඉතින් මගේ තමා."
"ඒත් ඉතින් ඔහේලා ඕකට කලබල වෙන්න ඕනෙ නෑ.ඔහෙලා ඔක්කොටම බැරියැ ඔය ගෙදෙට්ට වෙලා ඉන්න"

"එතකොට ඔහේ?" ඒ නෝනලා ය.

"සිම්පල්නේ.මම ඉල්ලා අස්වෙනවා"

කරුණානායක නග්ගාගත් පික්මීය පවනට බඳු වෙගෙන් ඉගිල්ලෙද්දී නෝනලා මූණට මූන බලාගත්තාලු.

Sunday, August 6, 2017

පන්දාහක කතාවක්

එක්තරා සම්මන්ත්‍රනේකට ආපු දේශකයෙක් දේශනය මුලදි සභාවට මෙහෙම කරනවා.ඔහු සාක්කුවෙන් ටිකක් බරසාර නෝට්ටුවක් එලියට ගන්නවා.මම දන්න බරසාරම නෝට්ටුව රුපියල් පන්දාහ.ඒක නිසා අපි ඔය නෝට්ටුවත් රුපියල් පන්දාහක් කියමුකෝ.
ඉතින් මේ දේශකයා අහනවා තමන් මේ පන්දාහෙ නෝට්ටුව නිකන් දෙනවානම් කවුද ඒක ගන්න කැමති කියලා.
සභාවේ ඔක්කොම පාහේ අත උස්සලා කැමැත්ත ප්‍රකාශ කරනවා.

ඒ පාර මේ දේශකයා පොඩ්ඩක් ඉවසන්න කියලා සභාවට කියලා හැමෝටම පේන්න ඒ නෝට්ටුව හොඳටෝම පොඩි වෙන විදිහට ගුලි කරනවා.ලස්සනට තිබුණු අලුත් නෝට්ටුව දැන් රැලි ගැහිලා .තාමත් ඔබට ඒක ඕනෙද කියලා දේශකයා අහනවා.ඒත් සභාවේ ඔක්කොම අත උස්සනවා.පොඩ්ඩක් පොඩි වුණා කියලා පන්දාහෙ වටිනාකම අඩු වෙන්නෙ නැහැනේ

ඒ පාර දේශකයා මොකද කරන්නෙ අර නෝට්ටුව බිම දාලා පයින් පාගනවා.සපත්තුවෙ තිබුණු කුණු ඔක්කොම නෝට්ටුවෙ.දැන් කාටද මේක ඕනෙ?
කුනු ගෑවිලා තමයි.ඒත තවමත් ඒක පන්දාහෙ කොළයක්.ඉස්සෙල්ලා තරම් වේගෙන් නැතත් තවමත් හැමෝගෙම අත් ඉස්සෙනවා.

හොඳයි මම මේ නෝට්ටුව පුංචි පුංචි කෑලිවලට ඉරුවොත්? කෑලි වලට ඉරුවොත් ඒක කඩදහි ගොඩක් විතරයි නේ.ඒ පාර නම් එක අතක් වත් ඉස්සෙන්නෙ නෑ.

අපේ ජීවිතෙත් අර පන්දාහෙ නෝට්ටුව වගේ නැද්ද?ප්‍රෙස් එකෙන් එළියට එනකොට බොහොම ලස්සනට අලුත් පාටට තිබ්බට කාලයක් යද්දි හැම නෝට්ටුවක්ම වාගේ පොඩි වෙනවා,කිලුටු වෙනවා,පොඩි පොඩි පලුදු වෙනවා.ජීවිතෙත් ඒ වගේ තමයි.සිය දහස් වාරයක් වැටෙනවා,පෑගෙනවා,පොඩි වෙනවා,කිලිටුවෙනවා.

ඒත් පොඩි පොඩි කෑලි වලට ඉරා දැමෙන තුරුම නෝට්ටුවේ වටිනාකම අඩුවෙන්නෙ නෑ වගේම ජීවිතේ කෙළවර වෙනකන් ම ඔය මොන කරදර හිරිහැරවලටවත් ජීවිතේක වටිනාකම අඩු කරන්න බෑ.
පන්දාහෙ කොලේ ට වඩා සිය දහස් ගුණයක් ඔයාගෙ ජීව්තේ ලෝකෙට වටිනවා.

පොඩි වුණාට කුණු ගෑවුනාට කමක් නෑ.නෝට්ටුව ඉරන්න තියා හිතන්නවත් එපා.

පලි:නෝට්ටුවෙ කතාව අන්තර්ජාලෙ දැක්ක අදහසක අනුවර්තනයක්

Saturday, August 5, 2017

යං සැලුං



පොඩි කාලේ මල්ලිගෙයි මගෙයි දෙන්නාගේම කොන්ඩෙ කපන්නේ වල්ගම හන්දියේ සැලුන් එකෙන් ය.
මාසෙකට වතාවක් අනිවාර්යෙන් තාත්තාගේ බයික් එකේ නැගලා ගිහින් කොන්ඩෙ බාබර්ට දී එනවාය.කොන්ඩෙ කපනතුරු එතැන වේලි වේලී ඉන්නා මට බලන්නට තියෙන්නේ අරුම පුදුම කොන්ඩා මෝස්තර තියෙන ජපන් හෝ කොරියන් පිරිමි පෝලිමක් ඉන්න බෝඩ් ලෑල්ලක් විතර ය.එහෙම බෝඩ් එකක් තිබුනාට කවුරුවත් ඇවිත් බාබර් උන්නැහේ ගෙන් ඒකේ තිබුණු මෝස්තරේකට කොන්ඩෙ කපන්න කියා ඉල්ලුවේ නැත.කුකුල් කරමල් වගේ තිබුනු ඒ මෝස්තරවලට කොන්ඩේ කපාගෙන ඒ ගම් ගොඩේ අරුම පුදුම සතෙක් වෙන්නට කාටවත් උවමනා නොවුනු හැඩය.

මාතර ටවුමේ ගෑනු ළමයින්ගේ අරුමෝසම් සැලුන් එකකට කියා තිබුනේ ඉශාරා එක ය.ඒකෙන් කොන්ඩෙ කපන්නට අපිව එක්කන් ගියේ එක දවසය.ඒ වෙනකොට බහ තෝරන්නට පුරුදුව හිටි  මලයා,සැලුන් එකේ පහල තට්ටුවේ මංගල සාරියක් අන්දා සිටි ඩමියක් කෙරෙහි පිළිබඳ සිතක් පහළ වී "මට මනමාලියෙක් ඕනෑ "යයි මර ළතෝනි තියා අපේ සායම ඇරිය හෙයින් එදායින් පස්සේ ඒ හතර මායිමේ පස් නොපාගන්නට අපි තීරණය කළෙමු.යාන්තම් ප්ලාස්ටික් බෝනික්කෙක් අරන් දීමෙන් එදා දවස මලයා සනසා ගත්තත් තවමත් එදා හැදුනු මනමාලියන් සෙවීමේ පිස්සුව අඩු වී නැති බව අක්කා වශයෙන් මට සහතික ය.

ඊට පස්සෙ කැම්පස් එන තුරුම මගේ කොන්ඩෙ භාර වුනේ ගුනසේන එකේ උඩ තට්ටුවේ සැලුන් පොඩ්ඩක් දාන් හිටි රොබට් අන්කල්ට ය.සැලුන් එක අයිති හින්දා දෝ රොබට් අන්කල්ගේ රැවුලවත් කොන්ඩෙවත් කපන පාටක් පේන්නට තිබ්බේ නැත. වැඩි හරියක් ට්‍රිමර් එකෙන් ම මගේ කෙස්ස කපන ගමන් රොබට් අංකලුත් තාත්තාත් කාලීන ආර්ථික,දේශපාලන ,සමාජයීය ගැටලු ඔක්කොම සාකච්චා කර අහවර කරනවා ය.රොබට් අංකල්ගේ සැලුන් එකෙත් අර කොරියන් /චීන හාදයන් ගේ බෝඩ් එක තිබ්බත් පත්තර දෙක තුනකුත් තිබුණ නිසා කොණ්ඩෙ කපන වාරය එනතුරු මට කුකුල් කරමල් කොණඩයන් දිහා අනිමිසලෝචන පූජා කරන්නට වුනේ නැත.ට්‍රිමර් එකෙන් කොන්ඩෙ කැපුවාම පහුවදා ඉස්කෝලෙ ගියාම විසුමක් නැත.බුරුසුව වගේ අතේ ඇනෙන කොට කොන්ඩේ අල්ලලා බලන්නට එදාට හැම එකීටම  වාගේ ඕනෑ ය.

කැම්පස් ආවාට පස්සේ කොන්ඩේ වවන්න ගත්ත නිසා සැලුන් යන්ට වුවමනාවක් උනේ ම නැත.තුන් වෙනි අවුරුද්දේදි හදිස්සියේම ආයෙමත් කොට කොණ්ඩයකට පෙරේත කමක් ඇති වී කපා ගත් කෙස්ස අන්තිම අවුරුද්ද වෙන කොට ආයෙමත් බලු නට්ටක් වගේ ගැට ගහගන්නට දිග ය.

ෆයිනල් ඉවර වුණාම පහළ බැච් එකේ ඇත්තන් අපිට ගොයිමක් දෙන එක සිරිත ය.ගොයිමට යාමට පෙර මගේ මූනත්තහඩුව ඊට සුදුසු පරිදි ක්ලීනප් කළ යුතු බව හොස්ටල් වාසී විද්වත් බවලත් ජනතාවගේ බහුතර මතය වූ නිසා හා හා පුරා කියා රූපලාවන්‍ය කටයුත්තකට සැලුන් එකකට යන්නට සිදු විණි.
ගලහ හන්දියෙන් බසයකට නැග පේරාදෙනියෙන් බැහැ ගත්තාම ඉස්සෙල්ලාම දකින් සැලූන් එකට මම යනකොටත් අපේ බැචියන් රොත්තක් එතනය.සැලුන් එක ඇතුල පොඩි හෝටලයක් වගේ ය.එයා කන්ඩිශන් ය.රිසෙප්ශන් ඒරියා එක වෙනම ය.තමන් ගේ වාරේ එනකන් ඉන්නා උදවියට වාඩි වෙන්න කොට්ට පිරුනු සෝෆා එකකි.කියවන්න ෆැශන් සඟරා දුසිමක් විතර ය.පුරුද්දට රොබට් අංකල්ගේ කුකුල් කරමල් කොන්ඩයන් හෙව්වත් උන් පේන්නට නැත.බිත්තිවල එල්ලා තියෙන්නෙ සැලුන් අයිතිකාරී එක එක  වැඩමුලු වලට ගිහින් ගත්තු සැටිෆිකට් හා අන්දාපු මනමාලියන්ගේ පින්තූර ය.

මගේ වාරේ ආවාම ඇතුලට ගොස් දිග ඇඳක දොයි කියන්නට විය.
හැමදාම සබන් ගා හෝදන මූන අලුතෙන් ක්ලීන් කරන්නේ මොටදැයි හිතා ගන්නට පුලුවන් වුනත් මූණ ක්ලීන් කරන්නට ඇඳක දිගා කරන්නේ මොටදැයි කියා නම් හිතා ගන්නටත් අමාරු ය.ගෑනු දරුවෙක් ඇවිත් බෙල්ල වටේ කොන්ඩේ කපන විට එල්ලන සාලුවක් එලූ විට මට හිතුනේ ක්ලීනප් කෙරුවාව කොන්ඩේ කැපිල්ලකට මාරු වුණා ද කියාය.ඇටි කෙහෙල් කාපු උගුඩුවා මෙන් වටපිට බැලූ කොට අල්ලපු ඇඳේ ද මගේ ඉරණම ම අත් වූ තව බවලතෙකි .ඒ ඇත්තිය බොහොම සන්සුන්ව ඇස් පියා ගෙන ඉන්නා හැටි නිරීක්ශනය කිරීමෙන් අනතුරුව මම ද ඒ මග යන්නට සිතා ගෙන ඇස් තද කර පියා ගතිමි.

සරබර හඬින් කවුරුන් හෝ පැමිණ මා අසල වාඩි වුණු බව තේරිනි.ඉන් පසු සෑහෙන වෙලාවක් යන තුරු වාඩි වුනු අත් දෙක එක එක ජාතියේ ආලේපන උලමින් මගේ මුහුන එක එක අතට මිරිකන්නට ,රෝල් කරන්නට උන්ඩි කරන්නට ,සුරුට්ටු හදන්නට වූවාය.වසා ගත් ඇස් අරින්නටත් බැරි නිසා ඕන දෙයක් වෙද්දෙන් කියා හිත හදාගෙන  දෙරි ගසා හිටියේ දැන් මේ මගුල ඉවරවෙයි කියා හිතමිනි.ඉවරයි කියා හිතුවාට ඉවර වෙන පාටක් නැත.

ඔහොම දහඅට රවුමක් විතර ගිය තැන අත් දෙක අයිති ලලනාව "මිස් අයි බ්‍රවුස් විතරදැයි "ඇසුවා ය.
මගේ ඇහි බැම සිංහරාජයටත් වඩා වැවී ඇති නිසා ඇහි බැම සකසා ගෙන ආ යුතු බවට විද්වත් මඩුල්ලෙන් ලැබුණු උපදෙස් නිසා මම ඉතා උනන්දුවෙන් හිස වැනුවෙමි.
ඇහි බැම හැදිල්ල පටන් ගත් කළ මට හිතුනේ වනේ වන හතුරෙක්ටවත් මෙහෙම හදියක් වෙන්ට එපා කියා ය.සැලුන් එකේ ඇත්ති හිතක් පපුවක් නැතුව ජරස් බරස් ගා මගේ ඇහි බැම ඇද දමනවා මදිවාට ජිම්නාස්ටික් අංගෙකට වාගේ මම අත් දෙකෙන් රුයිතෙට ඇහි බැම අල්ලාගෙන ඉන්නටත් ඕනෑය.ඇහි බැම විතරක් කියා කීවා ඇහුනේ නැතුවාවද සැලුන් ඇත්තී මුලු නළලේ ම කෙසුත් ඇද දමා අහවර කළේ මගේ ඉවසීමේ සීමාව පැන පා පහරකින් ඇයට සංග්‍රහ කරන්නට ප්ලෑන් කරද්දී මය.

යාන්තන් ඉවරයි කියා සිතෙද්දී,සීතල පෙති දෙකක් ඇස් උඩින් ඇල වූ සැලුන් ඇත්තී හෝ හඬකුත් එක්ක ම ගිනි ගහන රස්නයක් මුහුණට අල්ලන්න ගත්තාය.ඒ මදිවාට රස්නෙ ඇති ද කියලාත් අහනවා ය. හොස්ටල් එකේ විද්වත් මන්ඩලේ දෙමාපිය පරම්පරාව ආදරෙන් සිහිපත් කරමින් දාඩිය පෙරි පෙරී එහෙම්මම  ඒ පෝරණුවේ සෑහෙන වෙලාවක් ගත විය. පෝරණුව අහවර වුණු තැන ඒ ඇත්තී තඩි ගල්කටුවක් වැනි යමකින් මුලු මුහුණම පෙරන් ගාන්නට වෙද්දී මට හිතුනේ සහතිකේටම මේ ක්ලීනප් එක ඉවර වෙද්දී මුහුනේ උඩ හම නම් ඉතුරු වෙන එකක් නැති බවය.අලි මදිවට හරක් කියා මේ ඇත්තී මගේ නහය මිරිකා ගෙන නහය දෙපැත්ත පෙරන් ගාන්නට ගත් විට නම් මට හිතුනේ මගේ පෙර වැරදි නිසා කෝපාවිශ්ඨ වූ හොස්ටලේ විද්වත් මඩුල්ල මා පරලොව යැවීමට සැලූන් ඇත්තිට ගාණක් අතමිට මොලවා ඇති බව ය. මරණා සන්න උදවියට පේන්න ගන්නවාය කියන සුදු පාට එළියක් ඇති උමඟ පේන නොපෙනෙන හරියේදී සැලුන් ඇත්තී මගේ නහය අතහැර දැම්මේ ගොයින්ඩවුන් එකට සහභාගී වීමට පූරුවේ කළ පිනක් හේතු වාසනා වූ නිසා විය යුතුය."මූනේ හොඳටෝම බ්ලැක් හෙඩ්ස්.මාසෙකට සැරයක් වත් ක්ලීනප් එකක් කරගන්න.ක්ලෙන්සර් එකක් යූස් කරන්න.මොරිස්චරයිසර් ගාන්න.ටෝනර් එකක් ගාන්න"නොතේරෙන බසකින් ඒ ඇත්තී මගේ කන් පුරවද්දී කසාය බීපු ගොලුවා මෙන් හිස වනනවා හැර විකල්පයක් තිබුනේ නැත.

ආයෙමත් මොනවාදෝ මුහුණේ ඇතිල්ලූ සැලුන් ඇත්තී එවර අසුනෙන් නැගිට ඉවතට යන හඬක ඇහුණා ය.දෙතිස් වදයට ලක් වුණු අහිංසක මූණත්තහඩුව යාන්තම් සැනසිල්ලේ හුස්මක් හෙලනවා ඇසුනේ මට විතර ය.විනාඩි දහයක් පහලොවක් ගියත් සැලුන් ඇත්තී එන පාටක් නැත.ඇස් උඩින් තියා ගිය හීතල පෙති නිසා ඇස් ඇර බලන්නටත් බැරි ය. තව විනාඩි දෙක තුනක් ඉවසන්නට මම හිත හදා ගත්තෙමි.ඒ පාර වස නිදි මතක් එනවා ය.ඒසී එකේ කූල් පිට නිදා ගන්න එක හොඳ අදහසක් වුනත් සාමාන්‍යයෙන් නින්දෙන් පේන විකාර හීන වලට මම බෙරිහන් දෙද්දී අහළ ගම් හතම බය වෙන නිසා මෙතැන නිදා වැටෙන එක නුවණට හුරු නැත.නිදිමත නොඑන්නට එක එක බහුබූත හිත හිතා ඉඳිද්දී එක වරම දැනුනේ මූනත්තහඩුව ගල් ගැහීගෙන එන බවය.මුහුණේ මස් පිඩු එහා මෙහා කර බලද්දී සැකේ හරි ය.මූනත්තහඩුව ගල් පිළිමයක ගතියක් දැනෙද්දී තුන්මුනින් දාඩිය දාන්න ගත්තේ ඒ සී ත් නොතකා ය.ගොයිම පැත්තක තියා ඉස්පිරිතාලෙට ගිහින් ගල් වුනු මුහුණ පෙන්නා ගන්නට ඇඳෙන් බැස දුවන්නට චිත්ත දහිරිය එක්කාසු කරද්දී කොහේදෝ සිට සැලුන් ඇත්තී එතනට  ප්‍රාදූර්භූත වූවාය.ගල් ගැහුණු මුහුණට තට්ටුවක් දමා බලා මොනවාදෝ දියරයකින් ගල් තට්ටුව දිය කර හරිද්දී ය ඇඟට ලේ පොදක් ඉනුවේ.තවත් දෙගමනක් විතර එක එක ජාති උලා ක්ලීනප් එක අහවර වුනේ අයිස් වතුරෙන් මුහුණ සෝදන්නටත්,අව්වේ නොයන්නටත් තවත් උපදෙස් කප්පරකුත් අවසානයේ ය.මගේ සමට ටක්කෙටම ඔබිනා බවට සැලුන් ඇත්තී විසින් නිර්දේශිත ආලේපන වර්ග දුසිමකින් විතර බේරී ක්ලීනප් එකට අටසියයක් ගෙවා පෙරළා හොස්ටල් ආවේ කුඩයකුත් නැතිව ගිනි ගහන අව්වේ ය.නළල ඒ වෙනවිටත් ඩිංගිත්තක් පුපුරු ගහමින් තිබුණා හැර ක්ලීනප් එකෙන් වෙන අමාරුවක් දැනුනේ නැත.

හොස්ටල් ගිය ගමන් විද්වත් මන්ඩලේ බවලතෙක් මා දැක ඇස් නළලේ රන්දා ගත්තාය.
"මොකද්ද ගිය සැලුන් එක?"
මම සැලුන්  එකේ නම උදාරම් ව ඉදිරිපත් කළෙමි.
බවලතා  හිසෙහි අත ගසාගත්තා ය.
බැලින්නම් මා බැහැ දැක තිබුනේ විද්වත් මණ්ඩලය විසින් බ්ලැක් ලිස්ට් කර මට නොයන ලෙස තරයේ අවවාද කර යැවූ සැලුන් එකකටය.සැලුන් ඇත්තී ඇහි බැම හදද්දී මගේ නළලේ හමෙන් පදාසයක්ද ඉවත් කර ඇති බව දුටුවේ අපේ එවුන් නහය ළඟටම කන්නාඩියක් අල්ලා පෙන්වූ විට දීය.
පළවෙනි සැලුන් ගමන ඉවර වුනේ ඔන්නොහොමය.

පලි:දැන්  නම් මම සැලුන් යන්නේ වෙන මොනවාටවත් නොව දෙයියනේ කියා නිදා ගන්නට ය.ඇහි බැම මුලුමනින් ඉදිරුවත් උඩු හම තියා යටි හමත් එක්කම බ්ලැක් හෙඩ් අයින් කළත් ඒ ඔක්කොටම වඩා අපේ  පොඩි ඇත්තිගෙන් බේරී විනාඩි දහයක් හරි ඇහැ පියා ගන්නට ලැබෙන නිසා ඇත්තටම සැලුන් ගියාම දැනෙන්නේ නිවන් ගියා වගේ ය.

Saturday, July 22, 2017

ඉඟ සුග මිටින් ගත හැකි-කාලෙ නම් දැන් ඉවරැති

සාමාන්‍යයෙන් ලංකාවේ ඉපදෙන ළමයෙක්ගේ උපත් බර කිලෝ දෙකහමාරක් විතරය.ඒ වුණාට මගේ බර කාඩ් එකේ හැටියට උපත් බර කිලෝ හතරහමාරකි.ඉතින් හරිනම් මම බර වැඩි වෙච්චි එකට වග කියන්ටෝනේ අපේ මෑනියන්දෑ ය.
ඒ වුණත් කැම්පස් යන කාලේ පහු වෙනකනුත් දෙයියනේ කියා ජිම්පප්පා කන තරමටම කෑවත් වෙද පප්පාගේ ගානට ඇඟ මේන්ටේන් කරගන්නට බැරි කමක් තිබ්බේ නැත.
ඉන්ටර්න් කරන කාලේ ඉබේම ඩයට් වෙන හින්දාත් කෑම වේල බඩට වැටෙන්නත් කලින් දහනය වෙලා යන්නට තරම් ස්ට්‍රෙස් එක වැඩි නිසාත් ඒ අවුරුද්දේ නම් කිසිම බර ප්‍රශ්නයක් ආවේ නැත.
ඉන්ටර්න්වලට පස්සෙන් පහු ගන්දබ්බ අවදියේ හිටපු මාස නවයේ නම් කන බොන තරමට ඇඟ ආරා නොඑන්නට ග්‍රවුන්ඩ් යන කණ්ඩායමට එක්කාසු වෙන්නට විය.කණ්ඩායමක් කිව්වාට මමයි පල්ලෙහා කාමරේ කොලූයි විතරය.හතරට වැඩ ඇරී එන අපි කාටූන් බලන සෙට් එකට සෙට් වෙන්නෙමු.සිරසේ ගාෆීල්ඩ් හා ගිරිපුර ඇත්තෝ බලන්නට හැමදාම පාහේ සෙට් වෙන පිරිසක් ක්වාටර්ස් එකේ උන්නෝ ය.ඒත් කාටුන් බලන්නට සෙටියේ පත බෑවුණු තැනින් නැගිට දුවන්න යන්නට අමාරුවෙන් හරි හිත හදා ගත්තේ අපි දෙන්නා විතරය.මම යාන්තම් රවුම් දෙකක් දුවා ශේප් වුනත් අර ඉලන්දාරියා නම් වට පහක්ද කොහෙදො දිව්වා මතක ය.දුවලා ඇවිදින් ආයෙමත් පහළ කාමරේට සෙට් වෙන කාටුන් කණ්ඩායම දුකසේ උයා ගත් රෑ කෑම වේල බඩ පැලෙන්න කන්නට අපි අමතක කරන්නේ ද නැත.
ගන්ධබ්බ කාලෙන් පසු කරවනැල්ලට එන්න ගත්තාම ආයෙමත් ඉන්ටර්න් වගේම ය .ඉස්පිරිතාල ලිස්ට් එකේ ගෙදරට ළඟම ඉස්පිරිතාලෙ වුණාට කරවනැල්ලට එන්න ගෙදර ඉඳන් බස් තුනක ගමනක් ය.කුකුළාටත් කලින් ඇහැරගෙන මහරගමට ඇවිදින් බස්ගත වී අවිස්සාවේල්ලේ දී ජනේලෙන් බැහැගෙන ටවුම හරහා මීටර් සීය දුවලා නුවර ඉන්ටර්සිටියේ එල්ලෙන්න ඕනෑ ය.හවහට හැමදාම සෑහෙන දුරක් බස් එකේ එන්නේ වවුල් මෝඩ් ය.ඉතින් එතකොටත් මම  හුඹහෙන් ඇදලා ගත් නයා වගේ මය.
පෙලවහක් වී බට්ටි බඩට ආ ගමන් යසට මේන්ටේන් වුනු ෆිගර් එකට කණකොකා හඬන්න්ට විය.සමහරු මුල් මාස තුනේ ම කෑමක් බීමක් දුටු තැන හෝටල් දැම්මාට ඒ මාස නවයම මම කළේ දෙයියනේ කියලා කෑ බිව් එක ය.ගෙදර ඉන්නා විට නොකෑවොත් සීයාගෙන් දෝස්මුරේ ය.ඉස්පිරිතාලෙට ආවම කැන්ටිමේ ඇන්ටිගේ අරුමෝසම් කෑම දැක්කාම නොකා ඉන්නට බැරි ය.ගිලලා මදිවට තව පැනිවලලු ඔතා ගෙනත් යනවා දැක වීඕජී සර් විස්සෝප වුනේ මගේ සීනී මට්ටම කොහේ ඇත්දැයි හිතා ගන්නට බැරුවය.කලින් ෆ්‍රෙශ් මිල්ක් දිහා ඇහැක් ඇර නොබැලූ මම දවසට කිරි ලීටරයක් අහවර කරන එක පුරුද්දක් විය.බට්ටි හම්බෙන්නට කිට්ටුව අපේ මනුස්සයා කොන්ඩෙ කපන සැලුන් එකට ගියාම සැලුන් එකේ අය්යා නළන රැලි කරන් ඇහුවේ "මල්ලි නංගි හිටියා වගේ දෙකක් විතර සයිස් නේ ද "කියා ය.අපේ පිය පාර්ශවේ නැන්දලා ඔක්කොම පාහේ බොහොම පුශ්ටිමත් සරීරවලට හිමිකම් කියන නිසා මම  එන පොට හොඳ නැති බව අම්මාද මතුරන්න ගත්තේ ඔය කාලේ මය. බට්ටි  ලැබුණාට පස්සේ ඩයට් කර එක්සයිස් කර පුරුදු ෆිගර් එකට බැසීමේ සැලසුම් සහගත වැඩපිලිවෙලක් ඔලුවේ වැඩ කල නිසා ඔවැනි අවලාද ඔක්කොම විසිවුනේ මගේ ඔලුවට උඩින් අහකට ය

බට්ටි ඉපදුනත් බට්ටිගේ පෝෂන අමාත්‍යාංශය දිගටම අම්මාගේ බාරයේ ය.මුල් මාස හයම බට්ටිට මවු කිරි විතර ය.ඉතින් කිරි දෙන මවු පදවිය එක්ක ඩයට් කිරිලි තහනම් ය.එක්සයිස් කියා වෙනමම මුකුත් කරන්නටනම් බටිටි ආවායින් පස්සේ උවමනා වක් ම  නැත.දවස අහවර වෙනකොට දවස තිස්සේ නොනැවතී ඔලිම්පික් මීටර් සීය දිව්වා වගේ මය.ඒත් ඉතින් බෝල ඇඟනම් වෙනස් වෙන පාටක් නැත.
මාස හයෙන් පස්සේ පටන් ගත්තේ බට්ටිට කවන යුද්ධේ ය.බට්ටිගේ කෑම වේල පෝෂන ආකරයකි.ඒත්  කොයි මෝස්තරෙන් හැදුවත් බට්ටි ගේ කට ඇරෙන්නෙ ඒකෙන් බොහෝම ඩිංගිත්තට ය.පැය ගානක පෙරැත්තයෙන් ඒ ටික බඩට දා ගත්තාට පස්සේ හදාපු මහන්සියට හා හිතේ අමාරුවට ඉතුරු ටික යන්නේ අම්මාගේ බඩට ය. ඒ මදිවාට යක්කු ගස් නගින ජාමෙටත් නිදා ගන්නට හිතේ වත් නැතිව හක්කලං කරනා බට්ටිත් එක්ක ඔට්ටු වෙන කොට ෆ්‍රිජ් එකේ වැඩ වසන අයිස් ක්‍රීම්,චොකලට්,බිස්කට් එහෙමත් ඉබේම අතුරුදහන් වෙලා ය.අයිස්ක්‍රීම් කෝප්පයක් විතර අනුමත වී හිතේ අමාරුවට අම්මා එක්සයිස් කරන්න ගන්නවාය.එතකන් අම්මා ට බ්‍රහ්ම දන්ඩනය දිදී හිටි බට්ටිට ඕන් ඔය වෙලේ ම අම්මාගේ ඇඟේ එතෙන්නට ,ආදරේ ප්‍රකාශ කරන්නට ,බිම පත බෑවුනු අම්මාගේ ඇඟ උඩ සීසෝ පදින්නට හිතෙනවාය.එක්සයිස් එතනම කොට උඩ ය.

හිත හදාගෙන ඩයට් කරන්න ගත්තාම ඒකටත් පටන් ගත් තැන ඉඳන් උදලු ය.බඩගිනි නොඑන්නට බොන්නට ගෙනා මෙලෝ රහක් නැති පිටි එක හදනකොට කොච්චර කීවත් තාත්තා ආදරේට සීනි හැන්දක් දානවා මය.කෑම ඩිංගක් අඩු කලොත් ඔහොම කාලා මේ ළමයා එක්ක ඔට්ටු වෙතහැකිද,ලෙඩක් හදා ගන්නකො පුලුවන්නම් කියා තරවටු කරන්නට අමතක කරන්නේ ද නැත.කැන්ටිමේ ඇන්ටිද අඩු සීනි කිව්වාට තේකට හැන්ද පුරවා මිසක් සීනි දාන්නේම නැත.රාජකාරිය එපා වී කැන්ටිමට ගෑටුවාම එතන තියන ජාති දෙක තුනක් ගිල දමන තුරු ඩයට් කිරිල්ල මතක් වෙන්නේම නැත.

ඩයට් කිරිල්ල පටන් ගද්දී බඩු ගන්නා කඩේ තඩි තරාදියෙන් බර මනින්න ගත්තා ට තව මාස දෙක තුනක් දිගට බර කිරුවොත් අලුත් තරාදියක් ගන්නට වෙන බව කඩේ කොලූටත් තේරෙන්නට පටන් ගෙන ඇත.අලුත් තරාදියක් නොගෙනාවොත් වෙන කඩේ කින් බඩු ගන්නා බවට අනතුරු ඇඟවීමට කාලේ හරි වගේ ය.
ඉතින් මේ විශම කෑම චක්කරේ දවසින් දවස ඔහොම කැරකෙනවා ය.තව ටික දවසක් යද්දී නම් බඩ ගෙඩිය දැක්කාම බබාඅම්මෙක් කියා හිතා බස් එකේ සීට් එකක් හම්බෙන්නත් ඉඩ තියේ ය.කොයි දේ ත් වෙන්නේ හොඳට ය.ඒ නිසා මම කෙට්ටු වීමේ අදහස හිතින් අත ඇර දෙයියනේ කියා පුරුදු පරිදි කා බී වෙසෙන්නට තීරණය කළ බව අපේ ගෙදර උන්දෑ,මෑනියන්දෑ ඇතුලු සකල ලෝක වාසි ජනතාවට ඉමහත් චිත්තප්‍රීතියෙන් යුතුව මෙසේ දැනුම් දී සිටිමි .

Friday, July 21, 2017

සුරංගනා කතා

පුංචි කාලෙ කියවපු සුරංගනා කතා හැම එකකම වගේ සුදු ගෑනු චරිතේ එකම මොඩල් එක.
ලස්සන හුරුබුහුටි චූටි ගෑනු ළමයි.
හිම කුමාරි,ලස්සන වසිලිස්සා,නිදි කුමාරි,සින්ඩරෙල්ලා  ඔය ඔක්කොම බයක් නැතිව මිස් වර්ල්ඩ් තරඟෙට යවන්න පුලුවන් දැරිවියෝ.අනික රූපෙන් විතරක් නෙමෙයි කතාබහ ,ගෙදර දොරේ වැඩ,දැනමුතුමක් අතිනුත් කතාවේ එන කලු චරිතවලට (බොහෝ වෙලාවට අජූත පෙනුමක් තියෙන)මේ අය එක්ක හැරෙන්නවත් අමාරුයි.
ඇයි එතකොට මේ අයගෙ අත ගන්න එන ඉලන්දාරි.ඒ වගේ පැහැපත් කඩවසම් කුමාරවරු ඉන්නේ තවත් සුරංගනා කතාවකම විතරයි ඉතින්.ගති  ගුණ අතින් මේ ඉලන්දාරී අර ඉස්සෙල්ලා දැරිවියොන්ගේ කරට කර.ඉතින්  ඒ ජෝඩුව කසාද බැන්දම ?මයෙ අප්පේ ලොකේ දැවෙන ප්‍රශ්නෙ හතරෙන් තුනක් විතරම එතනම අහවර වෙනවා.
  එව්වා නම් ඉතින් හිච්චි කාලෙ කියවන සුරංගනා කතානේ.කතා කරන සතා සීපාවා, අයිස්ක්‍රීම් මාළිගා වගේ එව්වත් සීනීබෝල තමයි කියලා හිතා ගත්තැහැකි.හිච්චි කාලෙන් පස්සෙ ගැටවු ගැටිස්සියො කාලෙට ආවා කියමු කො.තාමත් ඉඳලා හිටලා සුරංගනා කතා කියවනවා තමයි එකෙක් දෙන්නෙක්.ඒත් වැඩි හරියක් කියවන්නෙ මල් පත්තර,පැණි බේරෙන ප්‍රේම කතන්දර.අනේ ඉතින් සුරංගනා කතාවේ හිටපු කුමාරයො කුමාරියොමලු මෙව්වයෙත් ඉන්නෙ.ටීවී බැලුවත් ටෙලි නාට්ටිත් ඔහොම්මමයි.හින්දි ද සිංහලද බොලිවුඩ් ද හොලිවුඩ් ද කොලිවුඩ් ද ජපන් කොරියන් ද ෆිල්ම් එකක් ගත්තත් ඔය සෙතේ මයි.සමහර වෙලාවට වීරයා පැටලෙන තරමට ලස්සන නලුවෝ නිලියෝ බුරුතු පිටින් දුශ්ට චරිතෙත් රඟපෑවාට, කතාවේ කුමාරි සාම්ප්‍රදායික කුමාරිගෙන් හරි කුමාරයා සම්ප්‍රදායික කුමාරයාගෙන වෙනස් වෙන්නට නම් කිසිම ඉඩක් නැත්තේ මයි.
ඉදින් මේ කපේට මූනත්තහඩුව සවුත්තු එකෙක්ට කුමාරයා කුමාරි චරිතේ අකැප ය.බතල ඇඟක් හරි පාන්කඩ ඇඟක් හරි තියේ නම් සහායක විකට චරිතයක් විතරක් රඟපාන්නට වාසනාව ඇත.වාහන එන්ජිමකට ලවු කරන කෙල්ලෙක්ට ,බියුටිකචල් ඉවුම් පිහුම් ඈ කාන්තා සබ්ජෙක්ට් වලට ඉන්ටරෙස්ටඩ් කොල්ලෙක්ට කුමාරිගේ හෝ කුමාරයාගේ චරිතය රඟපාන්නට තියා හිතන්නටත් තහනම් ය.ලස්සන කෙල්ලෙක් නිකන් ප්ලේන් කොල්ලෙක් එක්ක යාලු වෙන එක හෙනම ඇබ්නෝමල් ය.වෙන මොන නොගැලපිලි අල්ලලා.දැම්මත් රූපේ ගැලපිල්ල නම් කෙරෙන්ටම ඕනෑ ය.
මේ ඔක්කොම මගුල් හිතෙන්න ගත්තේ Rainbow Rowellගේ Elanor and Park පොත කියෙව්වාට පස්සේය. සුරංගනා කතාවක් වගේම රහ වුනාට සුරංගනා කතාවක් නම් නෙමේය. කුමාරි ටිපිකල් මොඩ්ලයෙන් පිට තඩි ඇඟක් තියෙන,රතු පාට බූසි කොන්ඩයක් තියෙන විකාර ඇඳුම් අඳින කාටත් විකාරයක් වුන කෙල්ලෙක් ය. කොල්ලා සංගීතය,විකට කතා පොත් වාගේ විපරීත ඇල්මන් තියෙන හීන්දෑරි ඉලන්දාරියෙකි.කතාව ඇතුලේ මට නම් හිතන්නට බොහෝ දේ ය.කියවලා ඉවර වුණාම සුරංගනා කතාවකට වඩා හිත පිරිලා ය.
එත් ඉතින් හැබෑ ලෝකේ උන්  අදටත් හොය හොයා යන්නේ සුදු චූටි නංගිලාත්,හැන්ඩි සික්ස්පැක් අයියලාත් නම්  එහෙම නොවෙනා හැටහුටහමාරක් එවුන්ට රඟපාන්න වෙන්නේ  හැබෑටම කාගෙ චරිතෙ ද?

Thursday, July 20, 2017

සාය - මම - ඇන්දාම

සාය ගෑනු ළමයින්ගේ  ඇඳුම් අල්මාරියේ  අනිවාර්ය කොටසකි. පොඩි කාලේ ඉඳන් ම මගේ ඇඳුම් අල්මාරිය පිරෙන්නේ අම්මාගේ හිතේ හැටියට ය.මට ඇඳුම් ගලපන කලාව නොතේරෙන නිසා උන්දෑ එහෙම කළා ද නැතිනම් පොඩි කාලේ හිටන් එහෙම වුණ නිසා ඒ ශිල්පය මට අත ඇරුණාද කියන එක නම් ශුවර් නැත.මම දන්නා එකම දේ නම් රෙදි කඩේක සායවල් තියෙන හරියෙන් මාව අත ඇරියොත් ඔටුවෙක් ඇන්ටාක්ටිකාවට ගෙනිහින් දැම්මා වගේ ගතියක් එන වගය.දණට ඉහලින් නවතින සායවල්,වළලුකර බදාගෙන පොළව පිහිදාන සායවල්,තට්ටු සායවල්,බම්බු සායවල් අතරින් රවුම් දෙකක් ඇවිදින කොට ඇතිවන තෝන්තුවා ගතිය නවතින්නේ රෙදි කඩෙන් එළියට බැස්සාම ය.
පොඩි කාලේ වැඩි හරියක් මට තිබ්බේ දිග කලිසන් ය.ඔහොම ඉඳිද්දී පහේ පන්තියේදී අම්මා රතු පාට සායකුයි හැට්ටෙකුයි ගෙනාවාය.දුටු දා ඉඳලා පෙම් බැන්ඳ කිට් එක ඇඳන් මම ගියේ සිස්සත්ත පන්තියට ය.පන්තියේ කොලු ගැටවු ටික අමුතු සතෙක් දිහා බලන්නා සේ බැලූ හැටි තාමත් මතක ය.පන්තියේ ටීචගේ මහත්තයා අපේ අම්මාගේ ඉස්කෝලෙට එන ගුරු උපදේශක මහත්තයෙකි.ඊට ටික දොහකට පසු ඉස්කෝලෙදී මුනගැහී උන්දෑ අම්මාට කියා තිබුනේ  එදා ඇන්ද කිට එක නොවෙන්නට උන්දෑගෙ හිතේ තිබුනේම  මම කොලු ගැටයෙක් බව ය.

ඉස්කෝලේ යනකොට සුදු ගවුම ඇන්දාට මගේ ඇඳුම් අල්මාරියේ වැඩිහරියක් තිබුනේ ඩෙනිම් කලිසම් ය.කොට කොන්ඩෙට ගවුම් සාය ගැලපෙන් නැති බවක් අම්මා හිතුවාදැයි දන්නේ නැත.කොහොමින් කොහොම හරි නවයේ පන්තියේ විතර ඉන්දැද්දී දිගම දිග රැලි සායක් අඳින්නට ට හදිසි ආසාවක් ඇති වෙනවා ය.තාත්තා එක්ක ගිහින් සමන් මල් එකෙන් ටිකක් බර ගානක් දීලා අලු පාට සායකුත් අරන් ඇවිදින් ඒක ඇඳන් යන්නේ ජයසිරි පෙරේරා සර් ගේ විද්‍යාව පන්තිය ට ය. ඒත් දිග සාය මගේ පදින බයිසිකලේ එක්ක පෑහෙන්නේ නැති බව තේරෙන්නේ ගෙදර ඉඳන් බස් හෝල්ට් දෙකක විතර පහු වෙද්දීම අලුත් සාය බයිසිකල් රෝදයත් එක්ක ඔට්ටු වුණා මය.වෙලාව හොඳ නිසා පාර මැද පිනුමක් නොගසා බයිසිකලය නවත්තගත්තත් බිමට බැහැගන්නට පුලුවන් වුනේ රෝදේ අස්සෙන් යට හරියත් ඉරාගෙන සාය එළියට ඇදගත්තාම ය.ගෙදර ගිහින් සුපුරුදු ඩෙනිමට බහින කොට සාය පිස්සුව දිග කාලෙකට හොඳ වෙලා ය.

පේරාදෙනියේ කැම්පස් යන්න කලින් කැම්පස් අඳින්න සුදුසු ඇඳුම් ගැන අම්මා ඒ වෙනවිටත් කැම්පස් හිටි අඳුරන අක්කෙක්ගෙන් උපදෙස් ගත්තාය.අක්කා අම්මාව ඇන්දුවාද අම්මා මාව ඇන්දුවාද කියන එක ශුවර් නැතත් අවසාන ප්‍රති පලය වුනේ ජ්‍යෙශ්ට උතුමන්ගේ උදහසට ලක් නොවීමටය කියා දිගම දිග මෙලෝ හැඩයක් නැති ගෝනි සායවල් තොගයක් මාත් එක්ක පේරාදෙනි යාමය.මගේ තියෙන පස්ස ගිනිගත් කඩියා ස්පීඩ් ගමනට සායෙන් හරිම කරදර ය.එනිසා කොයි වෙලේත් ඉබේම මගෙ අතින් සාය මදක් ඉහලට එසවෙන්නේ ය. එහෙම ආරක්ශක උපක්‍රම භාවිතා කර තියෙද්දිත් එක උදේක අපේ ඉංග්‍රීසි පන්තියට නගින සිමෙන්ති පඩි දෙක තුනේ පිම්මේ දුවන්නට ගිය මම හොම්බෙන් ලෑන්ඩ් කරන්නේ දණිස්සත් පතුරු යවාගෙන ය.අත්තනායක සර්ගේ අණට මගේ රූමී මාවත් දක්කාගෙන හෙල්ත් සෙන්ටර් ගොස් මට පිටගැස්මට බෙහෙත් විදින තුරු කන් වසා ගෙන හිටියා ය.බැච් එකේ ඉස්සිස්සෙල්ලාම හෙල්ත් සෙන්ටර් ගිය ලෙඩා වීමේ ගෞරවේ මට ලැබුනේ එහෙමය. එපාම වෙන වැඩේ දවල් කැන්ටින් යන වෙලාව වෙනකොට අපේ එකෙක් පඩි පෙලේ වැටී හෙල්ත් සෙන්ටර් ගිය කතාව සින්නන්ට ආරංචි වෙලාය.උන්ගේ හිතේ මම වැටුනේ හැම බිල්ඩිමකම වගේ තියෙන දාර පත පඩිපෙලකින් කියාය.ඉංග්‍රීසි පන්තිය ගාව පඩි දෙකේ තුවාල වෙන තරමට මම වැටුනේ කොහොමද කියලා හිතා මයෙ හිතේ එදා දවසේ බහුතරයක් හිසේ ඇම්ම හදා ගත් බව ශුවර් ය.

යාන්තම් ෆස්ට් ඉයර් එක ඉවර වෙද්දී ගෝනි සායවල් ටිකද ගෙදර පටවන්නට පුලුවන් විය.පස්සෙන් පහු අම්මා මට දිග සායවල් නොගෙනාවේ සාමාන්‍ය ගෑනු දරුවෙක් අඳින දිග සාය මගේ උසත් එක්ක එහාටත් මෙහාටත් නැති මලවිකාරයක් වෙන බව අම්මාටම තේරුන නිසා වෙන්ට පුළුවන.
ඉන්ටර්න් කරන කාලේ නෝලිමිට් එකේ තිබී හදිස්සියකට දුවාගන්නට ඉඩ තියෙන සාය කෑල්ලක් දැක්කාම මම කලේ හැම පාටින් ම ඒ සායවක් ගත්ත එකය.ඉන්ටර්න් ඉවරවෙන  විට ඒ සායවල් දුසිමකටත් වඩා අල්මාරියේ ය.තාමත් ඒ දෙක තුනක් ඉතුරු ය.

ඩෙංගු වසංගතේ එක්ක ඉස්පිරිතාලේ යද්දී දිග ඇදුමක් අඳින වුවමනාව ඇති වෙනවා ය.යුනිෆෝම් එක් වගේ ඩෙනිම තිබුනත් ප්‍රශ්නෙ වෙන්නෙ ඒක ඇඳගත් ගමන් මම ගෙයින් පිට කොහේ හරි යන්න යන බව දැන ගත් බට්ටි පරල වෙන්න ගන්නවා ය.ඒ ගැන හිතලා කොහෙදෝ අම්මා කලු පාට අපූරු දිග රේන්ද සායක් එවලා ය.සාය හරි අපූරු ය.මදුරු වදේටත් කදිම ය.ඇඟටත් පහසු ය.එකම ප්‍රශ්නේ රේන්ද සාය වට පිටාවේ තියෙන දේ වල් බදා ගන්නට යාම ය.හවස වැඩ තියෙන දවසක වැඩට යන්නට කලින් ගෙදරට ඕන අඩුම කුඩුම ටික ගන්නට කඩේට දිව්වේ අටට වැඩ ඉවර වී බඩු ගන්න යාම කරදර නිසා ය.කඩේ රවුම් ඇවිදිද්දී සාය බර ගතියක් දැන්නෙන්න ගත්තාය. "හපොයි මෙන්න දොස්තර නෝනා කරවල හොරකම් කරනවා "කඩේ කොලූ ඔලොක්කුවට කියද්දී මම සායේ එල්ලුණු කරවල කූරියා ආයෙම උගේ වාස භවනට අතෑරලුවේ ආයේනම් දිග සාය කඩේ නොඅඳින්නට හිතා ගෙනය.

හොඳ වෙලාවට අපේ ගෙදර් කරවල කන්නෙ නෑලු ඉතින්.