Tuesday, October 10, 2017

රෝද දෙකේ වාහනේ

මග දිගට ංහෝටල් දාන්නට හිතෙන නිසා මට පොඩි කාලේ හිටන්ම රෝද හතරේ වාහන අරහං ය.ඉතින් ඒ කාලේ ඉඳන් ම මගේ හිත ගිය වාහන අතලොස්සේ උඩින් ම වැජඹුනේ බයිසිකලයත් කෝච්චිත් ය.ඔතනින් කෝච්චියත් ටිකක භයානක සතෙක් ය .ඒ නිසා වාහන ලෝකයේ මගේ ෆස්ට් ලවු එක  බයිසිකලේ ය.

පොඩි කාලේ තාත්තා ගෙනත් දුන් බයිසිකලේ රෝද හතරකි.ලොකු රෝද දෙකට අමතරව  වැටෙන එල නවත්තන්නට පිටිපස්ස රෝදේ දෙපැත්තෙන් තව ඇබිත්තන් රෝද දෙකකි.ඒ දෙක තියෙද්දී වත්තේ පොර මං වුනාට ඒ දෙක ගලවා රෝද දෙකෙන් බයිසිකලය පදින්නට පුරුදු කරන්න තාත්තා තීන්දු කල දවසේ ඉඳන් මාසයක් විතර බයිසිකලයත් මාත් වැඩි හරියක් හිටියේ පඳුරු  අස්සේ නැත්නම් කානු පල්ලේ ය.පුරුදු වුණාට පස්සේ කජු කන්නාවගේ වැඩක් උනත් කම්මැලි කමට රෝද හතරෙන් යන්න පුරුදු වී හිටි මට නම් රෝද දෙකක් උඩ බැලන්ස් වෙන හැටි අල්ලා ගැනිල්ලට ඒ තරම් කාලයක් වැය කරන්නට වෙනවා ය.

මගේ ගානට තියෙන පොඩි බයිසිකලය පදිනවාය වැඩිය ගති ලොකු ඇත්තෙක් ගේ බයිසිකලයක් මෙල්ල කර ගන්නා එකය.අත්තම්මාගේ මළ ගෙදර දවසේ මහප්පාගේ බයිසිකලය දැක්කාමත් මටත් මගේ දකුණු අත වූ මාමාගේ දෝනියන්දෑටත් ඇති වුනේ ඔය ආසාව ය.කවුරුවත් නොබලන අතරේ බයිසිකලය උස්සාගත් අපි හෙමින් සීරුවේ ගේ අද්දර පාරේ ශිල්ප දක්වමින් ඉද්දී කැසිල්ල වැඩි වූ මට ගමන් මාර්ගය තව ඩිංගිත්තක් දික් කිරීමට හිතුනේ පාරේ කෙලවර තඩි පල්ලමක් ඇති බව නොදැන ය.පවනේ වේගයට කිට්ටු කරමින් පහළට ඇදුණ බයිසිකලයත් මාත් දුටු අම්මා බෙරිහන් දුන්නේ බ්‍රේක් ගහන ලෙසටය.
කොයි බ්‍රේක් එකදැයි අහන්න හිතෙනකොට අම්මා සෑහෙන දුරය.මොළේ පාවිච්චි කර බ්‍රේක් දෙකම ඇල්ලූ නිසා බයිසිකලය එක පැත්තකටත් මා තවත් පැත්තකටත් විසි වී පාර මැද පත බෑවුනේ දණිස් දෙකත් මැල්ලුම් කරගෙනය.බයිසිකලෙන් වැටුණු මිනිහාට තාත්තා තඩි බෑවා වගේ කියා ප්‍රස්තාව පිරුළක් ඇති වුණේ ඔය සිද්ධියෙන් පස්සෙන් පහු ය.

ඒත් ඉතින් බයිසිකල් ප්‍රේමය ඔතනින් නැවතුනේ නැති ලුය.නවයේ දහයේ විතරදී පන්ති යන්නට බයිසිකලයක් තාත්තා අරන් දෙන්නේ නොකා නොබී කඳුලු බිබී කරපු සටනක අවසානයේ ය.කොච්චර සැර තාත්තා කෙනෙක්ට වුණත් දුවෙක්ගේ කඳුලු අද්දර දිනන්නට හිත දෙන්නේ නැත.ඒ කාලේ මිටින් හල කුරුල්ලෙක් දැක් නැති කෙනෙක් උන්නා කිව්වා නම් අපේ අම්මා ශුවර් එකටම බයිසිකලෙන් පන්ති යන්න යන මාව පෙන්නනවාය.විද්‍යාව පන්තියට බයිසිකලයෙන් ගිය ගයනිත් මාත් අදටත් අතිජාත මිත්‍රයෝ ය.දෙමළ පන්ති ඉවර වුණාම පිටිපස්සේ ලගේජ් එක උඩින් බෙඩ්ශීට් එකක් එළා හොඳ වෙලාවට දැන් කාලේ මෙන් මස් පරුවතයක් නොවෙන මල්ලීවත් තියාගෙන බයිසිකලේ පදින එක හොඳ පණ ගියත් බොහොම උජාරුවෙන් ඉටු කළ රාජකාරියකි.

බයිසිකලේ හැප්පුනේ එකම එක දවසක් ය.වෙන සිහියක වංගුවක් ගනිද්දී මෝටෝ බයිසිකලයක් ඉඹින්නට යාම නිසා ඉස්සරහ රෝදේ අටපට්ටමක් වූ විට හිත කුඩු පට්ටම් වුනේ ගෙදරට මූණ දෙන හැටි හිතා ගන්නට බැරුවය.දෙවි කෙනෙක් මෙන් ඉදිරිපත් වුණු වින්කලේ අයියා ගයනිගේ බයිසිකලයේ ඩබල් දමා අපි ගණන් පන්ති ගිහින් එනවිට තිබ්බ විදිහටම රෝදය රවුම්කර තිබ්බේ ය.සති දෙහෙකට පස්සේ දවසක  මට මක් වුණාදැයි බලන්නට මොටෝ බයික් අංකල් අපේ ගෙදරට වැඩම් නොකෙරුවානම් අදටත් තාත්තා ඒ සෙල්ලම ගැන දැන ගන්නේ නැත.

බයිසිකලේ එතිච්චි ප්‍රේම  කතා එකකට වැඩි ය.ඒත් ප්‍රේම කතන්දර ඇති වී නැති වී යද්දිත් බයිසිකලේට ප්‍රේම කිරිල්ල අඩු වුනේ නැතිය.බයිසිකලේ නිසාවෙන් නිදහසේ පියාඹන්නට තටු ලැබුන නිසා ඉඳලා හිටලා සායවල් රෝදවල පටලවා ගැනීම වාගේ සුලු අරියාදු කළාට බයිසිකලයත් එක්ක තරහ ගන්නට අමාරුය.

මටත් වැඩියෙන් මගේ බයිසිකලේට ප්‍රේම කරපු සෙට් එකක් වුණා නම් ඒ අපේ පන්තිවලට ආපු ඉළන්දාරි ටිකය.ඒ ලෙවල් පන්තිවලදී බයික් එකෙන් පන්ති ආවේ කෙල්ලන් කීප දෙනාය. ඒ වෙනසට ගරු කිරීමක් හැටියට පන්ති ඉවර වෙද්දී බයිසිකලේ ඉස්සරහ කූඩයට ගඩොල් ගෙඩි ,පොඩි පොල් ගෙඩි වගේ යමක් පුරවා තියන්නට මේ ඉලන්දාරි වරද්දන්නේ නැත.එක ගෑනු දරුවෙක් මේ අහිංසකයන් මහන්සි නොකරන්නට හිතා පන්තියට ආ ගමන් බයිසිකලේ  මුණින් අතට හරවන්නට පුරුදු ව හිටි බවක් ලාවට මතක ය. හැබැයි දෙයියනේ කියා කවදාවත් මේ ගැටවු රෝදවල හුළං අරිනවා වාගේ කැත වැඩ කළේනම් නැත.

කාලයත් එක්කම බයිසිකලයත් වයසට ගිහින් ය.බයිසිකලෙන් පන්ති යන උන් තවමත් ඉන්නවාද දන්නේ නැත.මාත් වයසට ගිහින්  හින්දා දැන් බයිසිකල් පදින්නට වයස වැඩිය.දැන් කරන්නේ බට්ටි ට්‍රයිසිකල් පද්දවන එකය.

ප ලි: අපේ හාදයා ද ඒ ලෙවල් කාලේ මගේ බයිසිකල් කූඩයට ගඩොල් සැපයීමේ පින් කමට සම්මාදම් වී ඇත.ඒත් ඉතින් ඒක දැන ගන්නාවිට පොතේ අස්සන් කර හමාර නිසා වරදට සමාව දෙන්නට සිද්ධ වුණාය

Thursday, September 28, 2017

බූ-වල්ලෝ

ඉස්සිස්සෙල්ලාම බූවල්ලෙක් දැක්කේ මගේ හිතේ ටීවී එකේ කාටූන් එකකය.ඌ ඉතා අහිංසක ස්වීට් බූවල්ලෙක් ය.
ඒත් පස්සෙ කාලෙක ඩිස්කවරි නාලිකාවේ බූවල්ලා දැක්කාම කාටූන කාරයා මාව ගොනාට අන්දා ඇති බව සක්සුදක් සේ පැහැදිලි විය.ඇත්ත බූවල්ලාගේ කිසිම ස්වීට් ගතියක් නැත.ඌ දැක්කාම අප්පිරියා හිතෙන සෙවල ගති ඇති සතෙකි.

ලංකාව අවට මූදේ නම් බූවල්ලන් නැතුව ඇති බව මට සියයට දෙසීයක්ම සහතික ය.උන් ඔක්කෝම ඉන්නේ ගොඩබිම ය.ඔබ පිරිමි සත්වයෙක් නම් මේ සම්මජ්ජාතියට ඒ බූවල්ලන් ඔබට පේන්නේ නැත.හැබැයි  පාරේ බස් එකේ ගමන් බිමන් යන මං වාගේ ගෑණු සත්වයෙක් නම් මේ දිනපතා මෙවැනි බූවල්ලෙක් මුලිච්චි වීම කොන්දොස්තර මහතා ඉතුරු සල්ලි මාටියා ගැසීම මෙන්ම සුලබ අත්දැකීමක් බව නොඅනු මාන ය.

පේරාදෙණියේ කැම්පස් හිට ගෙදර ආ ගිය කාලයේ ද පිළියන්දලින් නැග කරවනැල්ලේ රස්සාවට ආ කාලයේද මේ බූවලු සංචිතයේ විවිදාකාර වූ සාමාජිකයන්  මට මුණ ගැසී ඇත.වැම්පයර් කෙනෙක් හොයා ගත්තත් බාහිර පෙනුමෙන් නම් මේ බූවල්ලන් හොයා ගැනීම උගහට ය.සමහර බූවල්ලන් නම් දකිනා විටම සෙවල බේරෙනවාය.සමහර බූවලු මහත්වරු යාබද අසුනට පාත් වෙන්නේ ඉතාම ශිශ්ට සම්පන්න විලාසයෙනි.

.බස් හෝල්ට් එකක් දෙකක් යද්දී මේ මහත්තුරුන්ට සතියක එක දිගට මළ ගෙවල්වල නිදි මැරීමෙන් ඇති වන්නාවූ ආකාරයේ දැඩි නිදිමතක් හට ගනී.ඇත්තටම කියනවානම් මේ නිදිමත ගතියකට වඩා රෝහල්ගත කළ යුතු සිහි මුර්ජා තත්වයකට කිට්ටු එකක් ය
සිහි මුර්ජා වුණු මේ අහිංසකයන්ගේ අතපය හතර පවා ඔවුන්ට වලංගු නැත.ඉතින් එතැන් පටන් ඒ උන්දැලාගේ අතැඟිලි ,අත්,වැලමිටි  හිටන් මිටින් හළ කුරුල්ලන් සේ වටපිටාවේ කරක් ගහන්නට ගන්නවාය.ඒ යද්දී අල්ලපු ආසනේ ඉන්නා බවලතීගේ අත,පය,පපුව ඉණ ආදී තැන් වැරදීමකින් නැවත නැවතත් මුණ ගැහෙන්නට පුළුවන.එවිට ඒ බවලතීට තියෙන්නේ එක්කෝ නොදැනෙනා ගාණට ඉන්නය.නැත්නම් අනේ මේ සිහියක් පතක් නැති අසරණයෙක්නේ කියා අනුකම්පා කරන්නට ය.

තවත් සමහර බූවලු මහතුන්ට නින්ද යන්නේ හිටගෙන මය.වාඩිවී ඉන්නා බවලතෙක් ගේ උරහිස උඩ බැලන්ස් වුණාමය මේ ඇත්තන්ට නින්ද යන්නේ.තවත් සමහරුන් නින්දෙන් වාරු වෙන්නේ බැරි මරගාතේ හිටගෙන යන බවලෙතෙක්ගේ ඇඟට ය.මේ නින්දේ තියෙන අපූරුම හරිය කියන්නේ බවලතීගේ පැත්තට කැපෙන වංගු විතරක් බූවල්ලාගේ ඇඟට සංවේදනය වෙන එකය.ඒ වංගුව අහවර වී අනික් අතට බස් රිය දහ අට වංගුවම ගත්තත් මේ බූවල්ලෝ තාමත් බවලතාගේ ඇඟ උඩම දෙරි ගහලාය.

හැබැයි බැරි වීමකින් වත්  මේ අසරණ බූවල්ලාගේ අත් වැරදී වැදීම ගැන ඔරවන්න ගොරවන්න ගියොත් ඉතින් බවලතීට සොරි ඩොට් කොම් ය.එක්කෝ පොදු ප්‍රවාහන සේවයේ යනවානම්  මෙවැනි සුළු සිදුවීම් ඉවසා ගත යුතු බවත් බැරි නම් කාර් එකක යන ලෙසත් නින්ද කැඩීම නිසා අගතියට  පත් අහිංසක බූවල්ලා විසින් චෝදනා පත්‍ර දිගු කරයි.එහෙම නොවී බවලතී ගේ ගෝරණාඩුවට බියවී අහිංසක බූවල්ලා පසු බැස්සත් බස් රියේ ඉතුරු නඩය බවලතී දෙස අඟහරු ජීවියෙක් වෙත හෙළන ආකාරයේ බැලුම් හෙලන්නට ගන්නවාය.

බවලතීගේ පැත්ත ගෙන බූවලු මහතාට දෙකක් කියන්නට බස් නඩේ අය ඉදිරිපත් වෙන අවස්තා ද ඇත.ඒ වාගේ දවසට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලා හඳට විරිත්තනවාලු ය. බොහෝ වෙලාවට බස් රියේ ඔක්කෝටම වාගේ බවලතීගේ ගෝරනාඩුව ඉවර වෙනකන්ම නින්ද යනවා ය.පුදුමේ කියන්නේ නින්දෙන් බස් රිය පදවන්නටත් රියැදුරු මහතාට පුලුවන් වෙන එකය.

අවුරුදු දෙක තුනකට කලින් පිටකොටුව බස් එකකදී  ඔහොම ජබර කලන්තේ හැදුනු ඉලන්දාරියෙක් මට කිව්වේ මොලේ අමාරුවට දොස්තර කෙනෙක් හම්බෙන ලෙසට ය.අර කිව්වත් වාගේ ම බූවල්ලන් නිසා දැන් මට මොලේ අමාරුවකුත් හැදිලාය.අල්ලපු ආසනේ පිරිමි පරාණයක් වාඩි වුණ ගමන් තුම්මුනින් දාඩිය දමා කටින් සෙම දමා ආවේස වෙන්නට ගත් දා සිට දෙයියනේ කියා මට නම් බූවල්ලන්ගෙන් කරදරයක් නැත.

කියවන ඇත්තීට මට වාගේ අසනීපයක් හැදීමේ වාසනාවක් නැත්නම් බස් රියට ගොඩ වෙද්දී මාරු කාසි සමඟම  අල්පෙනෙත්තක් ,හැට්ටකටුවක් හෝ ඉඳිකටුවකුත් මිට මොලවා ගෙන සූදානම් සරීරයෙන් සිටීමෙන් නිරුපද්‍රිතව ගමනාන්තය ළඟා වීමේ සුලු සම්භාවිතාවක් ඇති බව දැන්වීමට කැමතිය.

බැරි නම් පුශ් බයිසිකල් එකක් ගන්න අනේ.වියායාමෙටත් එක්ක හොඳයි නෙව.

Monday, September 11, 2017

හිතේ ඇඳුන කුමාරයා-ඈහ්?

ඉතිහාස කතා වල හැටියට ඉතින් වැද්දා කියන්නේ අපේ පැරණිම නෑයා.වැද්දෙක් කිව්වම ඔලුවට එන්නේ කොළ අතු ඇඳ ගත්ත ඇඟ පත පුරාම වනාන්තරෙත් එක්ක සතා සීපාවා එක්ක ඔට්ටුවෙච්ච් කතන්දරවල සිහිවටන පිරුණු එච්චර ප්‍රිය මනාප නැති මනුස්ස පරාණයක්.

            මනමේ කුමාරිගේ කතාවෙ වැද්දාත් ඔය අච්චුවේ ම හාදයෙක් තමයි.මනමේ කුමාරිව මනමේ කුමාරයාට කසාද බන්දලා දෙද්දි කුමාරි කුමාරයට මනාපද කියලා ඇහිල්ලක් වෙන්නෙ නෑ. ඒත් කුමාරයාව අඩුම ගානේ ගුරුගෙදර හිටපු ටික කාලෙදි හරි කුමාරිට මුණ ගැහෙන්න ඇතිනේ.ඉඳලා හිටලා වචනයක් වත් කතා කරන්න ඇති නේ වට්ස් ඇප්,එෆ් බී චැට් නැතුවට.

ඒත් කැලේ මැද්දෙදි කුමාරි කඩුව දෙන්නෙ කුමාරයට නෙවෙයි ඒ මොහොතේ ඇහැ ගැටිච්ච වැදි රජ්ජුරුවොන්ට.ගැහැනු චපල කතාවේ ඉඳලා කුමාරිට වැරදීමක් වුණු තැනට යනකන් ඒ සංගෙදියට එකේකට වෙනස් අර්ථකතනත් ඉතින් තියෙනවා.

හැබැයි තිර නාටකේ හැටියට කුමාරි කියන්නෙ මෙහෙමයි.
"හැඩිදැඩි සිරුරට ආලය සිතුණා
ඔබ හට අසිපත දෙන්නට හිතුනා"

ඒ කියන්නෙ බවලත්තු බලාපොරොත්තු වෙන්නෙ සද්දන්ත සරීර කූඩු තියෙන මිනිස්සුන්වද?

මනමේ දෙතුන් පාරක් බලලා තියෙනවා.අනිත් උදවියට කොහොමද මන්දා අනේ මටත් සුදුම සුදු පාටට බෝල බබෙක් වගේ ඉන්න මනමේ කුමාරයාට වඩා හිත ගියේම වැදි රජ්ජුරුවොන්ටම තමා.

මනමේ බලන්න ගිහින් පැය ගානක් වලේ වල බැහැගෙන ඉඳිද්දි බැචෙක් අපූරු කතාවක් කිව්වා.මනමේ චිත්තරපටියකට ගන්න ගියාලු (මට මතක හැටියට ජැක්සන් ඇන්තනි).වැද්දට තෝරගත්ත නලුවට උන්දෑ කිව්වලු හැම පිරිමියෙක්ම ඇඟේ වැද්දෙක් ඉන්නවා,හැම ගෑනු පරානෙකගෙම හිතේ වැද්දෙකුත් ඉන්නවා, වැද්දගේ චරිතේ තාත්විකව කරන්න නම් ඕන්න ඔය වැද්දව හොයා ගෙන ඉන්න ය කියලා.

කල්පනා කරලා බැලුවම කතාව ඇත්ත.ගෙවල්වල දෙන්නා දෙමාල්ලොම රස්සා කරන හම්බ කරන මේ කාලේ හරි නම් පිරිමි පරාණයක් මත යැපෙන්න ගෑනු පරාණෙකට උවමනාවක් ඇත්තෙ නෑ.ඒත් මට හිතෙන්නෙ තාමත් බවලත් හිත් අස්සෙ හැංගිච්ච මනමේ කුමාරිලා ගෙදර උන්දැලා ගේ ඇවතුම් පැවතුම් අස්සේ වැදි රජ්ජුරුවොන් ව හොයනවා.ඒත් බවලත්තුන්ගේ කැමැත්ත වැද්දට කියලා නොදන්න ගෙවල්වල ඇත්තෝ ගොඩ දෙනෙක් වැදි රජ්ජුරුවන්ව හිතේ අඩියටම තල්ලු කරලා දාලා ස්වීට් මනමේ කුමාරවරු වෙන්න දත කනවා.

මේ නූතන මනමේ කතාවද මන්දා

Tuesday, September 5, 2017

මම කඳුළු බින්දුවක්-හීතලට දැනෙන හිත රිදවන බින්දුවක්

හිනාවට අකමැති කෙනෙක් හොයාගන්නට අමාරු ය.ඒත් ඒ තරමටම කඳුළට කැමති මිනිස්සු හොයන එකත් උගහටය. හිනාවට සතුටු වෙන හුඟ දෙනෙක්ට වැටෙන කඳුළ දරා ගන්නට අමාරුය.

පොඩි කාලේ හිටම අම්මලා අපට පුරුදු කරන්නේ හිනා වෙන්නටය.
හිනා නොවුනත් නාඬා ඉන්නට ය.
බහ තෝරන්නට බැරි කාලේ වුනත් ඇඬිල්ල බොහෝම බලවත් සන්නිවේදන මාද්‍යයකි.
හිනාවට අම්මාගේ මූණේ හිනා පිපුණත් ඇඬිල්ලට තරම් අම්මා කළඹන්නට හිනාවට හයියක් නැත.
කරන වැඩ ඔක්කෝම අත ඇර දමා දුවගෙන විත් තුරුලු කරගෙන සනසන්නට අම්මා පොළඹවන්නේ ඇඬිල්ලය.කොහොමටත් පොඩි ඈයෝ තමන්ට වෙන අකරතැබ්බ බොහොමයක්ම අම්මලාට රපෝර්තු කරන්නේ ඇඬිල්ලෙනි.අම්මලා අප්පලා දත කන්නේ ඇඬුමට ඉඩ නොතබා පොඩි එවුන් සතුටෙන් තියන්ටය.

අඬන්නේ නැතිව හිතට දැනෙන දේ වචනවලට පෙරළන්නට පුළුවන් කාලේ වුණත් කඳුළ අපි අත අරින්නේ නැත. සතුටටත් ඇඬුනත් වැඩිමනත් ඇඬුම් එන්නේ දරා ගන්නා මට්ටමෙන් එහාට ම හිත රිදුන වෙලාවටය.කොහොමටත් වචනවලට වඩා දුක අකුරු කරන්න කඳුළු බින්දුව උපන් හපනෙක් ය.

ඇඬිල්ල හොඳ පුරුද්දක් විදිහට සමාජය දකින්නේ නැත. සමාජ සම්ප්‍රදායයට අනුව අඬන එක (විශේෂයෙන් ම පිරිමි පරාණ) අඬන එකාගේ දුර්වල කමක් ය.
ඉතින් ඉස්සර වාගේම (සමහර විට ඉස්සරටත් වඩා)හිත් වල දුක් ගින්දර ගොඩ ගැහුණත් දුක වැඩි වුණාම බෑගිරි ගගහා අඬන්නට ඉඩක් නැත.
හොර රහසේ මිසක කාටවත් පෙනෙන්නට අඬන්නට කොහොමත් ම බැරිය.වෙලාවකට ඇඬිල්ලේ අහවර ඇඬුවාට සමාව ඉල්ලන්න හිතෙන්නෙත් ඒක හින්දා වෙන්න පුලුවන.

ළඟ පාත ඉන්නා එකෙක්  හිටි හැටියේ අඬන්න ගත්තාම වටපිටාවේ ඉන්නා එවුන් වැටෙන්නේ ලොකුම අමාරුවක ය.කොහොමටත් අපි දුකට කැමති නැත.
"හා හා අඬන්න එපා.දැන් අඬලා ඔලුව කැක්කුමක් හදා ගන්නවා.හොඳ ළමයා වගේ අඬන්නේ නැතිව කඳුලු පිහිදා ගන්න"ඔන්නොයාකාර හිස අතගෑම් එක්ක ලේන්සු දික්කිරිලි මිසක අඬන එකාට හිතේ හැටියට අඬන්න දෙන සිරිතක් අපිට නැත.

හිනාව ලස්සන ය.කඳුළු ගැන අප්‍රමාන වර්ණනා තිබුනාට හිතේ දුකට අඬන ඇඬිල්ලේ මෙලෝක ලස්සනක් නැත.ගොරකා ගානට රතු වුණු ඉදිමුණු ඇස් ගෙඩි,හොටු පෙරෙන නහයවල්,තඩිස්සි මූණු අද්දර එක අතකට මෙලෝ මනුස්සයෙක්ට ඉන්න නොහිතෙන එකත් සාධාරණ ය.ඉතින් බොහෝ දෙනා කරන්නේ කඳුළ මග හරින එක ය.

කඳුළට හිත්වල ඇති අකමැත්තෙන් අයුතු ප්‍රයෝජන ගැනෙන වෙලාවන් ද නැත්තේ නැත.තමන්ගේ අවශයතාව ඉටු කර ගන්නට ළඟ පාත ඉන්නා උදවිය කඳුළ හරහා නම්මා ගන්නට සමහර ඇත්තන් උපන් හපන් ය.ඒ චෝදනාව වැඩි පුර එල්ලවෙන්නේ බවලත් පාර්ශවයට වුනත් දෙපැත්තේම  මම දන්නා තරමින් එහෙම කඳුල අවභාවිතා කරන ඇත්තෝ එමට ය. බවලතුන් එක්ක සසඳද්දී පිරිමි පරාණ අඬන්නේ කලාතුරකින් නිසා පිරිමි කඳුලුවලට හිත් හෙලවෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නටත් පුලුවන.

සමහර හිත්වලට ඉර නැගෙන්නේත් ඉර හැරෙන්නේත් කඳුළත් එක්කමය. බොහෝම පොඩි හිත් කුලකයකට කඳුළ කවදාකවත් මුණ ගැහී නැත.ඔය අන්ත දෙක අතරමැද හැම හිතක් ම අඩු වැඩි වශයෙන් කඳුළත් එක්ක ගනුදෙනු කරනවා ය.ඒ සමහරු කඳුළට පෙම් කරද්දී සමහරෙක් කඳුළට වයිර කරන්නටද හිතනවා ය.

ප:ලි
ඉතින් අහන්න එපා මම ඉන්නෙ කොතනද කියලා.මම දන්නෙ මෙච්චරයි.කඳුළු හීතලයි තමයි.ඒත් හීතලට දැනුණට හිත රිද්දන්නේ නම් කඳුලු නෙමෙයි.

Sunday, August 27, 2017

පොඩි මලයාගේ කතා වස්තුව

ඉන්නේ එක මලයාය.ඌ නිසා තරම් කට්ටක් මෙලෝ කොල්ලෙක් නිසා කා නැත.මට වඩා අවුරුදු පහක් බාල වුනාට ඇඟ පතේ ප්‍රමාණයෙන් ගත් විට සූර පප්පාද ඌට බාල ය.ඒ නිසා මේ හාදයා එක්ක වලි දමා ගැනීම මගේ සරීර සෞබ්‍යයට අතිශය අහිතකරය.

ගිය අවුරුද්ද අග්ගිස්සේ  මොටෝ බයිසිකලය හීනෙන් පදින්නට ගිය හාදයා නතර වුනේ මහරගම හරියේ කානුවකය.ඔෆිස් ෆෑන් එකක නඩයක් අපේ එකා කානුවෙන් ගොඩ අරගෙන තිබූ අතර ඉන් තුන්දෙනෙක් ම බැරි බර උස්සා කොන්ද ඇමැට්ටි වී අපේ එකා ඇඩ්මිට් කළ වාට්ටුවට ඇඩ්මිට් කළ බව ආරංචි ය .

මෙවන් සුවිසාල  සරීර කූඩුවකට හිමිකම් කියන්නට පුලුවන් වුනේ අපේ එකා පොඩිකාලේ හිටම කැප වීමෙන් කෑ බිව් නිසාය.

අපේ ඉස්කෝලේ ප්‍රයිමරියට ගිය කාලේ ඉඳන් ම ඌ කලේ පිලිවෙතින් කෑ බිව් එකය.ඒ නිසාම ස්පෝර්ට්මීට් එකේ කෙල්ලෙක් එක්ක බිස්කට් කා දුවන්නට අපේ එකා තෝරා ගත්තේය.(බිස්කට් කෑමත් කෙල්ලන් ගේ අතින් ඇල්ලීමත් ඒ කාලේ හිටම අපේ එකාට හුරු පුරුදුය).කරුමෙට ප්‍රැක්ටිස් දවසේ මාරි බිස්කට් යසට කෑ කෙල්ල ස්පෝට්මීට් දවසේ වේෆස් කෑම වර්ජනය කළාය.අනිත් ජෝඩු ඔක්කෝම දිනුම් කනුවත් පහු කළ පසුත් අපේ හාදයා නෙවෙයි කෙල්ලට වේෆස් කවන උත්සාහය අත ඇරියේ.

තුනේ හතරේ විතර ඉදිද්දී දවසක හවස අපේ එකාගේ ගෙදර වැඩ ලිස්ට් එකට ටිපිට්පි පැකට් දෙකක් ද ඇතුලත් වී තිබුණි.අම්මාගේ විමසීම් අංශයට කොල්ලා තොරතුරු ලබා දී තිබුනේ පන්තියේ ටීචර් ටිපිටිප් ගේන්නට කී බවයි .පහුවදා හවස ගෙදර ආ හාදයා කිව්වේ ටීචර් ළමුන් ගෙනා කෑම ඔක්කෝම පන්ති කබඩ් එකට දමා වැසූ බවක් ය.කෙසෙල් වැනි කල් තබා ගත නොහැකි කෑමවලට කබඩ් එක තුල අත් විය හැකි ඉරණම ගැන අපේ එකා නොසෑහෙන දුක් වුන බවත් මට මතක ය.හොඳ වෙලාවට ඒ සතියේ ඉස්කෝලේම එලකියුශන් පන්ති තිබුන නිසා අපේ එකාගේ පන්තියේ ගෑනු දරුවෙකුගෙන් ටිපිටිප් දෙකේ ඇත්ත කතාව එලිවුනේ ය.අපේ එකා හැර වෙන ළමයෙක් ගෙනා කෙසෙලක් නොවුනු අතට කාටවත් නොදී ටිපිටිප් කෑවා මදිවාට කෙල්ලන්ගේ ඇඟේ පිහින්නට පස්සෙන් එළවූ බවත්  ටිපිට්ප් නොලැබූමෙන් උරණ වූ ලලනාව අපේ අම්මාට ගතු කීම නිසා අපේ එකාට එදා ගෙදරදී හොඳ ටිපිට්පක් ලැබුණේ ය.

ඒලෙවල් විභාගය නිසා අවුරුදු නෑගම් යන්නට බැරි වුනු අහිංසක මට අල්ලපු ගෙදරකින් එවා තිබුනේ තඩි දොදොල් කුට්ටියකි.ෆිසික්ස් ක්ලාස් එකට ගෙනියන්නට තියා තිබුණු දොදොල් පට්ටය අතුරුදහන් වෙන්නේ විනාඩි කිහිපයක කාලයක් අතරේ ය.දොදොල් හොරා පසුව පාපොච්චාරණය කලේ  හදිසිය වැඩිකමට පිහියක් නොමැතිව තෙල්හැන්දෙන් කපා ගෙන දොදොල ගිල දැමූ බවයි.

අපේ එකාගේ මෙවන් සුන්දර ආහාර පුරුදු නිසා ගෙදරට ගේන ඕනෑම කෑමක් හතරට බෙදා අපේ පංගුව කොහොම හෝ අමාරුවෙන් ගිල දමා අහවර කරන්නට අපට සිදු විය.නැතිනම් මලයාට අහු නොවෙන්නට හංගපු තැන්වලම එක්කෝ කෑම නිදන් වෙනවාය.නැතිනම් හංගපු කෑම ගැන පොලිස් බල්ලන්ටත් වඩා හොඳ ඉවක් ඇති මල්ලීටම ඒවා අයිති වෙනවාය.ෆ්‍රිජ් එකේ දාන අයිස්ක්‍රීම් ,කිරි එහෙම නම් රෑට අනිවාර්‍යෙන්ම අතුරුදහන් වෙනවාය.මේ ආහාර රටාව නිසා අපේ එකා බලා ඉඳියදී තඩි වෙන්නට ගත් අතර අන්තිමේදී එකේ පන්තියේදී සීනි කුරක්කමක් වාගේ හිටි එකා දැන් පොර අල්ලන්නට හැදූ ගොන් නාම්බෙක් සයිස් ය.

මොකද්දෝ හේතුවකට දැන් දැන් අපේ එකා කෑම පාලනය කරනවා,ජිම් යනවා කියා ආරංචි ය.හැබැයි ඉතින් දවස් කීයක ව්‍යාපෘතියක්ද කියන එකනම් ශුවර් නැත.දිගු කාලීන වෙනවා නම් ඉතින් සරීර සෞබ්‍යයට හොඳය .

මේ ලියමන පබ්ලිශ් වුනාට පස්සෙන් පහු මගේ සරීර සෞබ්‍යයට අයත් විය හැකි ඉරණම නම් විශ්වාස නැත. දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙබ් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට වත් යාම නුවණට හුරු ය.

Thursday, August 24, 2017

ඔමරි කරන සාරි

කෑගලු රෝහලේ සම්මන්ත්‍රනේකට සහභාගී වෙන්ටය කියා ඉහලින් ඕඩරේ ආවේ ගිය සතියේය.පූරුවේ පවකට ඕපීඩී එකට ආ නිසා හතර දිබ්බාගේම තියෙන සම්මන්ත්‍රන වැඩමුලු බහුතරයකට සම්මාදම් වීමේ වාසනාව අපේ ඇත්තන්ට තියෙනවාය.

කෑගලු යාම ගැන ඇහුන ගමන් ඇඟ හිරිවැටෙන්නට හේතු බොහෝමය.දහ අට වංගුවට වඩා ඩිංගිත්තක් අඩුවෙන් වංගු තියෙනා පාරේ ගිහින් කෑගල්ලෙන් බහින වෙලාව වෙන විට තුන් ලෝකයම කැරකෙනා ලෙඩක් හැදෙන එක එකකි.බට්ටිව ගෙදර දමා ගොස් කීයට එන්න වේදැ යි නොදන්නා එක තවත් එකකි.ඔය ඔක්කෝටමත් වඩා බරපතල පුරස්නේ සාරියක් පටලාන යන්නට වෙන එක ය.

සාරි ඇඳිල්ල කවදත් මට වහ කදුරු වාගේ වෙන්නට ලොකුම හේතුව අම්මාගේ සාරි ඇඳිල්ල දිහා බලා ඉඳිල්ල වෙන්ට ඕනෑය.අම්මා සාරිය අඳින්නට හැට පැයක් ගන්නවාය.හැමදාම අම්මාට පරක්කු වෙන්නේ සාරි ඇඳිල්ලෙන් ය.කී සැරයක් ඇන්දත් අම්මාගේ හිතට හරි යන පාටක් ද නැත.සාරි ඇඳිල්ල මෙඩිකල් කොලීජියේ ෆයිනල් එකටත් වඩා බැරෑරුම් කටයුත්තක් බව මගේ ඔලුවේ තාමත් කැරකෙන්නේ අවුරුදු ගානක් අම්මාගේ සාරි හටනේ ඇසින් දුටු සාක්කි කරුවෙකු වීම හන්දා විය යුතුය.

මට නම් සාරිය අඳින්නට එච්චර වෙලාවක් යන්නේ නැත.කොහොමටත් අම්මාට වගේ වරු ගණන් සීරුවට පිලිවෙලට පොට හදා රැලි ගසා සාරි අඳින්නට ඉවසීමක් මට නැති බව සක්සුදක් සේ දත් නිසා එහෙව් පිලිවෙලක් මගෙන් බලා පොරොත්තු වෙන එක අසාධාරණ ය.සාරිය අඳිද්දී මට තියෙන එකම බලාපොරොත්තුව කකුල් අස්සෙන් වෙට්ටු නොදමා අතරමග බිමට පත නොබෑවී ගෙදර එනතුරු සාරිය ඇඟේ ඉතුරු වෙන එකය.සාරි කටු/හැට්ට කටු/ආය කටු/යතුරු කටු(ඔබට අදාල ප්‍රාදේශිය වහර තෝරා ගත හැක)දුසිමක් පමණ අඟලෙන් අඟලට තියා වෙලාවකට හමත් අහුවෙන්ටම ගැහුවත් මගේ කල්කිරියාව අනුව එසේ නිරුපද්‍රිතව ගෙදර එන්නට සාරියට සෑහෙන යුද්ධයක් කරන්නට වෙන එක් අනිවාර්‍ය ය.

විනාඩි පහෙන් සාරිය ඇඳ ගත්තත් වෙනදාට විනාඩි පහෙන් යන ගමනට සාරියේ එතුනාම පැය දෙකක් විතර ගත වෙනවාය.ඒ මදිවාට සාරියට අනිවාර්‍ය බොරු කකුල් ජෝඩුවත් දා ගත් විට හොම්බ බිම ඇනී ට්‍රොලියකින් රෝහලට නොයන්නට නම් ගොලුබෙල්ලෙක්ටත් වඩා හෙමින් ගමනක් තිබිය යුතුය.

සාමාන්‍යයෙන් මේ වගේ විපතක් මට වෙන්නේ කලාතුරකින් නිසා මට තිබෙන්නේ එකම එක සාරියකි.අවසානයට ජනේරුවේදී සාරි හැට්ටයට බැස්ස මට ආහාර පානාදියෙන් කිසිම අඩු පාඩුවක් වී නැති බව සාරි හැට්ටයට බහිනා පෙරහුරුවේදී පසක් විය.හැට්ටේ මැසූ නැන්දාට පින් සිදු වෙන්නට මැහුම් වාසි උදව්වට ගෙන මේ වරට විතරක් ම සාරි හැට්ටයට රිංගා ගත්තේ පොල් තෙල් බෝතලයකත් ආධාර උපකාරයෙනි.

සාරියත් හැට්ටයත් සොයා ගත්තාට සාරිය තරම් ම වැදගත් යට සාය ගෙදර දමා ඇවිත් බව මතක් වුනේ කෑගලු ගමනට කලින් දා රෑ ය.අල්ලපු ගෙදර ටීචර් නෝනා යට සායකින් ආධාර කලත් ඒ ඇත්තිය මගේ වැලමිට හරියට පමණක් උස  නිසා යට සායට ඇන්දාම සාරියට ගංවතුර ගලපු  පාට ය.

අම්මාගේ සාරි ඇඳිල්ලට තමාගේ දායකත්වයත් නොමසුරුව ලබා දුන් අපේ දෝනියන්දෑ මැදපු සාරිය දිය ඇල්ලක් ලෙස භාවිතා කිරීම,අම්මාගේ බොරු කකුල් ඇඳ යට හැංගීම වැනි ක්‍රියාකාරකම් හරහා ඇගේ සහයෝගය ලබා දුන්නාය.

කොහොමින් කොහොම හරි පටලාගත් සාරියට අටවාගත් බොරු කකුල් මාරු කරගෙන රෝහලට යද්දී හුඟ දෙනෙක්ට වාසනාවකට මා අඳුනා ගන්නට බැරිය.අඳුනාගත් දෙතුන්දෙනා  කේශාන්තයේ සිට පාදාන්තයට බැලූ බැල්මට මම හැරී බැලුවේ සාරිය මග හැලී යටසාය විතරක් ඉතිරි වී වත් දෝ කියා ය.

අලි මදිවාට හරක් කියා කෑගලු යන්නට ඇත්තේ ඔක්සිජන් ලොරියේ ය.සාරියත් බොරු කකුලුත් එකතුව ලොරියට නගින සෙල්ලමට වඩා එවරස්ට් නැගිල්ල ලේසි වෙන බව ඒකාන්තය.හොඳ වෙලාවට කෑගල්ලේ මම අඳුරන මොකෙක් වත් නැත.පෝරනු සාලාවක සාරියත් පොරවාගෙන පැය ගානක් තැම්බී ගෙදර එද්දී බොරු කකුල් වලට කකුල් වල තුවාල ඉස්ම බේරෙනවා ය.කොරවක් වන්නමෙන් ගෙදර විත් රෙදි උනා කොට කලිසමකට හා හැට්ටයකට බැස කකුල් දෙකේම ප්ලාස්ටර් අලවා ගත්තාම එහා ගෙදර නැන්දා හිතුවේ ඉන්තේරුවෙන්ම මම සාරිය පැටලී අඩව්වක් අල්ලා තුවාල කරගෙන බවය.

සාරිය හොයාගත් එකා හමු වුනොත් මම මුකුත් කරන්න යන්නේ නැත.මට කලින් උන්දෑ පරලොව යවන්නට දත කට මැදන් ඉන්නා බවලතුන් අනන්තය අප්‍රමාණය.ඉතින් ඔය යකා අහවරක් කර ඔය ඇත්තියන්ගේ උදහසට ලක්වෙන්නට මට ඕනෑම නැත.

ලබන ආත්මේ නම් සාරි නැති රටක ඉපදෙන්නට පින් රැස් කරගන්නට අපි හවස පන්සල් යන්න හිතන් ඉන්නවා ය.

Sunday, August 13, 2017

නවතින්නම එන ඇත්තෝ

ගෙදරට වෙලා ඉන්නවා වෙනුවට ඉස්පිරිතාලෙ ඇවිත් ඉන්න කිව්වොත් කැමැතිද? ඒසී කාමර,ඉන් රූම් ඩයිනින් තියෙන් ප්‍රයිවට් හොස්පිට්ල් එකක නෙවෙයි.මේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ.

හුඟක් වෙලාවට ඉස්පිරිතාලෙ නැවතිලා බෙහෙත් කරන්න වෙනවා කිව්වම ලෙඩ්ඩුන්ගේ මූනු කලු වෙලා යනවා.සනීප නැතුව ඉන්නවා මදිවට නුපුරුදු පරිසරයක,බෙහෙත් ගඳ ,අනිත් ලෙඩ්ඩුන්ගෙ දුක් කෙඳිරිලි අස්සේ,මේ දවස්වල ඒ මදිවට ඩෙංගු නිසා වාට්ටු හරියට ප්‍රයිවට් බස් වගේ නිසා වැටිලා ඉන්න ඇඳක් කෙසේ වෙතත් පැදුරක් හොයාගන්නත් අමාරුයි.ඉතින් කවුද කැමති වෙන්නේ ඉස්පිරිතාලෙ ඉන්න?

එහෙම හිතුවට බොහොම කැමැත්තෙන් ඇවිත් බලෙන්ම වගේ ඉස්පිරිතාලෙ පැලපදියම් වෙන ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් හැම ඉස්පිරිතාලෙම ඉන්නවා.

මේ සීයාට අපි විජයවර්දන සීයා කියමුකො.ඉස්සිස්සෙල්ලාම දකින කෙනෙක්ට හිතෙන්නෙ හරීම අහිංසක අසරණ සීයා කෙනෙක් කියලා තමයි.වයස අවුරුදු අනූවක් විතර ඇති.කොට්ටෙකුයි ගමන් මලු දෙක තුනකුයි එක්ක අමාරුවෙන් එන සීයා දැක්කම කාට උනත් දුක හිතෙනවා.කොට්ට පැදුරු ඇඩ්මිශන් එක ළඟ එලියෙන් අඩුක් කරලා දොර ගාවට ඇව්ත් දොර අල්ලා ගත්ත ගමන්ම සීයාට දරුණු පපුවේ කැක්කුමක රෝග ළක්ශන පහළ වෙනවා.මේ දැන් පණ යයි කියලා හිතෙනවා.ඒත් ඇඩ්මිශන් එක ලියපු ගමන් ඉබේම පපුවෙ අමාරුව සනීප වෙනවා.වාට්ටුවෙ කට්ටිය කියන විදිහට වාට්ටුවට යන්නෙ වෙනමම සීයා කෙනෙක් .බොහොම සැර පරුශ ඒ සීයා වාට්ටුවේ හැමෝත් එක්කම ගෝරි දාගන්න බවයි ආරංචිය.දවසකින් දෙකකින් ටිකට් කැපුවාම අර බඩු පොදියත් කර ගහගෙන ආයෙමත් තව ඉස්පිරිතාලෙකට යන එක තමයි සීයා කරන්නෙ.ඇඩ්මිට් කරන්න කලින් ඕපීඩී එකට පෙන්නලා ඊසීජී පටියක් අරන් එන්න කියලා තරවටු කරපු දවසක අපේ පුටුවත් පෙරලාගෙන සීයා ආපහු යන්න ගියේ පපුවෙ කැක්කුම ඉබේ හොඳ වෙලා. ඒත් ඉතින් රෑවෙලා ආවම මේ නාකි මනුස්සයා හරවලා යවන්නයැ.කවදාහරි දවසක සීයාටත් වෙන්නෙ අර කොටියා ආවෝ කියපු ළමයාට වෙච්චි වැඩේ කියලා කිය කිය අපි ඇඩ්මිට් කරනවා.සීයා ඒවා නෑහුන ගානට ඉන්නවා.

ඊළඟ දෙමළ ගෑනු පරානයක්.අපි ලෙච්චමී කියමු.එයා එන්නෙ කොහේ හරි ගිහින් ගෙදර යන්න පරක්කු වෙච්ච් දවසට.හොරෙන් ඇවිත් බලලා උන්දෑ ගැන දුක හිතිලා නවත්තන දොස්තර කෙනෙක් හිටියොත් විතරක් ඇඩ්මිශන් එකට එන්නේ අර ලෙඩේම කියාගෙන.හැබැයි සීයාට තරම රඟපාන කලාව පිහිටලා නැති හින්දා බොරු කරන විත්තිය පේනවා.ඉස්සරනම් පවු කියලා නැවැත්තුවත් වාට්ටුවෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති මේ දවස්වල ඊසීජී බලන්න ඕනෙ බව මම තදින් ම කියනවා.අපි ඔක්කෝම මරන බවට පොරොන්දු දිදී ලෙච්චමී යන්න යනවා.

ඔය අපේ ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩුන්ගේ නියැදියක් විතරයි.හුඟක් ඉස්පිරිතාලවලට මේ වගේ ලෙඩ්ඩු බරක් වෙනවා.සමහර ලෙඩ්ඩු එක ඉස්පිරිතාලෙකින් තව එකකට මාරු වෙවී ඉස්පිරිතාලවලම ජීවත් වෙනවා.සමහරු ලෙඩ්ඩුන්ට නොමිලේ දෙන කෑම එක කන්න බලාගෙන එනවා.සමහර වයසක උදවිය බලාගන්න කාත් කවුරුත් නැති නිසා එනවා.තම කැමැත්තෙන් එන මිනිස්සු වගේම ගෙදරින් ගෙනත් දාලා ගිහින් ආයෙත් බලන්න පැත්තපලාතෙ නොඑන නිසා ටිකට් කපලා යවන්න බැරුව තියාගෙන ඉන්න ලෙඩ්ඩුත් ඉන්නවා.

ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද කරන්න පුලුවන්.වැඩිහිටි නිවාසවලට මේ ගොඩ දෙනෙක් බාර ගන්නෙ නැහැ.බාරගත්තත් සමහරු මේ ජීවිතේ වෙනස් කරන්න කැමතිත් නැහැ.මතුපිටට නොපෙනෙන්න තියෙන ඒ මිනිස්සුන්ගේප්‍රශ්න විසඳෙන තුරු මෙහෙම ලෙඩ්ඩු එන එක නවතින්නෙත් නැහැ.ඒත් අපි වගේ පහසුකම් අඩු ලෙඩ්ඩු වැඩි ඉස්පිරිතාල තියෙන රටක මේ ලෙඩ්ඩුන්ට වෙන්වෙන්නෙ ඇත්තටම ලෙඩක් තියෙන මනුස්සයෙක් වෙනුවෙන් වෙන් විය යුතු කාලය,ශ්‍රමය හා පහසු කම්.
ඒත් ඉතින් රටේ වෙන නාස්තිවල හැටියට ඕක ලූනු බිකක් තරම් කියලා හිත හදා ගන්නත් බැරි නෑ ඉතින්