Sunday, May 14, 2017

අතට වෙරලු

බට්ටිගේ අම්මා පොඩි කාලෙ බලා කියා ගත්තේ වැඩි හරියක් අම්මා ය.මොන්ටිසෝරි වත් නොගිය පොඩි කෙල්ලෙක් එක්ක ගුරු පත්වීමකුත් බැලන්ස් කරගන්නට අම්මා සෑහෙන යුද්ධයක් කරන්නට ඇතුවා නිසැකය.පස්සෙන් පහු අත්තම්මා ද ඒ යුද්ධය ට හවුල් වූ බව මතක ය.ඒ භාරදූර කර්තව්‍යය යෙන් ඒ ජෝඩුව ම අකලට වයසට යන්නට ඇතුවා ද සහතික ය. ඒ කාලේ ළපයි සිපයි බලා කියා ගැනිල්ල අම්මලා ප්‍රමුක කාන්තා බලකායට පැවරුණු රාජකාරීයක් වුනු අතර අප්පොච්චි ලා උන්නේ කන්න බොන්න හම්බ කරන්නත්  දඟ වැඩ කරාම තරවටු කරන්ටත් ය.

ඒත් ඉතින් බට්ටිගේ අම්මාගේ රස්සාවේ හැටියට බට්ටිත් එක්ක ඉන්න ඉඩ ඇත්තේම නැතුවා වගේය.
අත්තම්මාත් ලෙඩ ගානේ නිසාවෙන් බට්ටි බලාගැනිල්ල පැටවෙන්නේ සීයාගේ කර මත ය.බට්ටි කෙල්ල සීයාව අල්ලේ නටවන්නට හපනී ය.ඒත් සීයාගේ ආදරේ අඩුවක් නැත.කැවිලි පෙවිලි ,නෑවිලි,නිදි කරවිලි ඔය ඔක්කොම රාජ කාරි කරන්නට සීයා දැන් කප් ගසා ඇත.

එතනින් නොනැවතී බට්ටිගේ අම්මාට නයිට් ඩියුටි කියා මගුලක් ද ඇත.එදා ට අමරුවේ වැටෙන්නේ බට්ටිගේ අප්පොච්චි ය.පෙර කී අට අනූවක් රාජකාරී වලය අමතරව රෑ එලි වෙන තුරු අම්මා නැති අඩුව දැනෙන්නට නොදීම කියන කරන්නට අමාරුම රාජකාරිය කරන්නටත් උන්දෑට සිදු වී ඇත..අම්මා මතක් වූ විට රෑ දෙගොඩ හරි ජාමයේ හූ තැබීම,ඔංචිලි පැදීමේ යෝජනා,ක්‍රීම් බිස්කට් ඉල්ලීම් වැනි අකරතැබ්බයන්ට මුහුණ දීමටත් සිදු වේය.ඒ ඔක්කොමත් කර නයිට් ඩියුටියෙන් පසු නිදිමරගාතේ ගෙදර එන බිරින්දෑට උදේ කෑමත් හදා තියා බැනුම අසන්නේ ය.
බට්ටිගේ අප්පොච්චි හා සීයා වගේම අම්මාවරු තරමටම ආදරේ බෙදන පිරිමි පරාණ බොහෝමය.ඒත් අම්මලාගේ ආදරේ තරම් එය ගැලරියට දැනෙන්නේ නැත.
අම්මා විතරක් නොව අප්පා ද බුදු විය යුතුමය .

No comments:

Post a Comment