Monday, April 16, 2018

පොඩි කාලේ අවුරුදු

ඉස්සර කාලේ අවුරුදු ඉවර වුනාම එලඹෙන වැදගත් ම නැකත නෑගම් යන එක ය.

තාත්තාගෙත් අම්මාගෙත් කාර්‍යබහුල රාජකාරී ජීවිත නිසාවෙන් ගමේ යන්නට ඉඩක් ලැබෙන්නේ බොහෝ විට සිංහල අවුරුද්දටත් ඉස්කෝල නිවාඩුවටත් විතර ය.තාත්තාගේ ගම හොරණ ය.අම්මාගේ ගම හෝකන්දර ය.හයි වේ නොතිබුණ ඒ කාලේ ගෙදරින් උදේට කන්නට හදාගෙන උදේම අපි  ගමේ යන්නට කාර් ගත වෙමු.

ඒ කාලේ දරුණුවටම තිබූ වාහනවල හෝටල් දැමිල්ලේ රෝගය නිසාවෙන් ගමනේ වැඩි හරියක් මම පිටිපස්සේ සීට්  එකේ පොළවට සමාන්තරව ය.දැන් වාගේ දාර පත සරීර කූඩුවක් නොතිබුණු සහෝදර සමාගමත්  ජනෙල්වලට පොර අල්ලමින් මා හා පිටිපස්සේ ය.
ගෙදරින් කෑම ගෙනියනවාට අපි දෙන්නාම අකමැති යන පාරේ  මග්ගොන නිව් මෝනිස් එකෙන් කන්නට ලැබෙන හින්දා ය.

මුල් ම නැවතුම හොරණ තාත්තාගේ මහගෙදර ය.තාත්තාගේ මහ ගෙදර ගාම්භීර ය.ඒත් කළුවර ගුහාවක් ය.ගස් පිරෙන්නට ජම්බු,මැංගුස්,ගඩිගුඩා තියෙන එකේ වත්තේ ගස් ගෙඩි හූරනවා මිසක මම ගෙට ගොඩවෙනවා අඩු ය.ගෙට ගොඩ වෙන්නේ කැවිලි පිඟානට වග කියන්න ට ය.ලොකු නැන්දා ගේ දෝනියන්දැලා දෙන්නා මට වඩා වැඩිමල් අවුරුදු කීපයක් ය.යුද්ධෙ වෙන්නේ එහෙන් එන්නට ලැහැස්ති වුනාම ය .වැඩිහිටි උදවියට වඳිද්දී  මගේ වැඳිල්ලෙන් බේරෙන්නට කෙල්ලන් දෙන්නා ගේ පුරාම දුවන්නට ගන්නවා ය.මමත් අතාරින්නේ නැත.

  ඊළඟ නැවතුම අම්මාගේ මහගෙදර ය.පොඩි කාලේ මම කැමතිම  තැන එහේය.දැන් ටවුන්ගත වෙමින් තිබුණත් ඒ කාලේ හෝකන්දර හද්දා ගම ය.ඒ පිටිසර කමට මම සෑහෙන ආදරේ ය.ගේ වටේට විසාල වත්තක් ය.ජම්බු,නමිනං,පේර,වෙරලු ගස් වත්ත වටේ ට ය.වැලි මිදුල කකුලට සනීප ය.රස්නයක් අහලකවත් නැත.තාත්තලාගේ ගෙදරට වඩා එහේ කළඑලිය නිසාදෝ මම එහෙට මනාපය.

ඔය කොයිකටත් වඩා අම්මාගේ මහ ගෙදරට මනාප මාමාගේ දෝනියන්දෑ හිටි නිසා වෙන්නටත් පුළුවන.මට වඩා අවුරුද්දක් බාල  උන්දෑ පස්සෙන් එල්ලාගෙන රයිගමයා හා ගම්පලයා සේ හැම අහුමුල්ලක ම රිංග රිංගා මොනවා හරි කූරු ගෑම අපි දෙන්නාගේ සිරිත ය.කෝපි අතුවල නැඟ ඔංචිලි පැදීම,කාටත් හොරෙන් ගස් බඩ ගා වරකා කැඩීම ,සෙල්ලම්බ් බත් ඉවිල්ල ,ඉඳ හිට කෙහෙවලු පටලා ගැනීම අපි දෙන්නාගේ ප්‍රියතම රාජ කාරි ය.

අම්මාගේ අම්මා මියැදුනේ මම තුනේ හතරේ විතර ඉඳිද්දී වගේ ය.ඊට කලියෙන් ගමේ ගියාම අත්තම්මාගේ පස්සෙන් වැටීමත් අපි දෙන්නාගේ සිරිත ය .අත්තම්මා ගේ අපි කැමතිම රාජකාරිය බල්ලන් නෑවිල්ලය.නාන්නට කොහෙත්ම අකමැති බලු තඩියන් පස්සෙන් අඹා අල්ලාගෙන ,උන් ඇදගෙන දුවද්දී පස්සවල් හූරාගෙන බඩවැටි අස්සේ රිංගා ,උන් නාවාගෙන අපිත් බාගෙට නාගෙන එන එක තරම් විනෝදයක් තවත් නැත.

ගෙදර ටැප් එකෙන් නානවාට වඩා මහ ගෙදර ළිඳෙන් නාන එක හරිම අපූරු ය.බාල්දියේ එල්ලී වතුර ඇඳගෙන හීතලේ වෙවුල වෙවුලා නා ගත් විට පුදුම සනීප ය.ඊටත් වඩා කදිම ඉඳ හිට දවසක අත්තම්මා එක්කං යන කෝපිකඩේ නාන ළිඳ ය.වටේ බැඳ නැති ලිඳේ වතුර අත ළඟ නිසා වතුර අඳින්නට මහන්සි වෙන්නට ඕනෑ නැත.නානවාට වඩා නංගිගෙත් මගෙත් වෑයම ලිං ගැට්ටේ ඉඳගෙන අපිට කෝචෝක් කර කර එහා මෙහා පීනන මාලු අල්ලන්නට ය. තොපි ළිඳට වැටුනොත් අම්මලාට මම ළමයි හදලා දෙන්නදැයි අත්තම්මා ගෝරනාඩු කරත් උත්සාහය අත අරින්නේ අපි නොවේ.ඒත් මාලුවෙක් තියා ඉස්ගෙඩියෙක් වත් අපිට අහු වෙන්නේ නැත.

අම්මාගෙන් කන් කෙඳිරි ගා සල්ලි ඉල්ලාගෙන ,නැතිනම් අල්මාරිවල ලාච්චු සුද්ධ කර රුපියලේ දෙකේ ඒවා එකතු  කරගෙන පුංචි අම්මාගේ කඩයෙන් හකුරු,පරිප්පු,බුල්ටෝ ඈ කඩචෝරුවලින් බඩ පුරවා ගන්නා හැටි දුටුවෙක් අනිවාර්‍යෙන් ම හිතන්නේ අපිට ගෙදරින් හත් අවුරුද්දකට කෑම වේලක් නොලැබී ඇති බව ම ය.කඩේ පැත්තක කුමුදු අයියාත් ගොලු පුංචීත් මල්ලිලාත් එක්ක සෙල්ලම් ගෙවල්,සෙල්ලම් කඩ දැමිල්ලත් කම්මැලි වෙලාවට හොඳ විසඳුමක් ය.

මහ ගෙදර ඉස්සරහ පොඩි ගෙදරක හිටියේ චලා ආච්චිය.චලා ආච්චි කුස්සියේ බිම ගාන්නේ ගොම ය.උන්දෑගේ පලා මැල්ලුම තරම් රස මැල්ලුමක් තාමත් මට හමු වී නැත.පිඟානට කොත ගසා බෙදා දෙන බත් එකේ ඇටයක්වත් ඉතුරු වෙන්නේ නැත.ආච්චිගේ ගේ දොරකඩ රඹුටන් ගහ ය.ඒ වටපිටාවේ රඹුටන් ගහක් තිබ්බේ එහේ විතරය.ටකයක් බැඳගෙන ආච්චි පරිස්සම් කළ රඹුටන්වලට වගකිව්වේ නිවාඩුවට කඩා පාත් වෙන අපි ය.

මහ ගෙදර රෑ පාන තවත් සුන්දර ය.රෑට සප්පායම් වුණාට කාටවත් නිදා ගන්නට හදිසියක් නැත.වැඩි දවසක් පොඩි අපි ටික නිදාගන්නේ සාලේ මැද එලා ගත් පැදුරු වලය.කොස්සක නැගී අපි වටේ ගිය පොඩි මල්ලීට කොස්ස රිවස් කියා නමක් පට බැඳුනේ ඔය සාලේ ය.

බිත්ති ඔරලෝසුව දාර හඬින් රෑ එකොළහ දොලහ සටහන් කරද්දී කිචිබිචිය නවත්තා  නිදා ගන්නැයි ඉහළින් දෙතුන් වතාවක් තරවටු කිරීම් ආවත් අපිට ඒ ගානක් නැත.ඔය කිචි බිචි ,හිනා ,විහිලු මැද නොදැනීම ඇහැ පියවෙනවා ය.

අම්මලාගේ කාලසටහන් වල නිවාඩු තිබුනේම නැති නිසා නෑගම් එන්න තිබුනේ දවස් දෙක තුනක් විතර ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔය දවස් ගෙවිලා ඉවර ය.
ඊළඟට එන්නේ ගෙදර යාමට විරෝදය ප්‍රකාශ කරන නැකත ය.තව දවසක් ඉන්නට යෝජනා ,බැගෑපත් ඇවිටිලි, කුණු කුණු,නහයෙන් ඇඬිලි ඉදිරියේ ඒ දවස්වල අම්මලා සෑහෙන්න අසරණ වෙන්නට ඇත.ඒ ඇවිටිලි හරි නොගිය තැන යන වෙලාව තව පැයක් පස්සට දාගන්නට බඩ රිදිලි, හිසේ ඇම්මවල් එහෙම අනිවාර්‍ය්යෙන් හැදෙනවා ය.මහ ගෙදරින් එළිය බහින්නේ තාත්තා ගේ සැර කිරිලි ,ගෙරවිලි අඩි ,පොලවේ හැප්පිලිවලට නරක් කරගත් හිත් බර කරන් ය.

ආයෙත් එද්දී පාරත් මූසල ය.අහසත් කලු ය.මුලු වටපිටාවම මහා පාලු ය.අපි පිටිපස්සේ නිදි කිරා වැටෙද්දී තාත්තාට නින්ද යයි දැයි විපරමෙන් අම්මා අවදියෙන් ය.රෑ දෙගොඩහරි යාමේ ගෙවල් වලට සේන්දු වෙන්නේ බර වෙච්චි හිත් එක්කම ය.

ඒත් පහුවදා ඉඳන් අපි ආයෙත් හැල්මේ දුවන ගමනේ ය.ඒත්  ඉඳහිට නැවතී ඇස් පියා ගත් වෙලාවට ඊළඟ අවුරුද්ද එනකන් හිත හදාගන්නට අවුරුදු මතක ගොන්නක් හිත අස්සේ ඉතුරු ය.

3 comments:

  1. Dr තාත්තා හොරණ කොහෙද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ තංගල්ලේ

      Delete